කොත්මලේ ගණිතයා

කොත්මලේ ජනප‍්‍රවාද ගත තොරතුරු පිළිබඳ සොයා බැලීමේදී කොත්මලේ ගණිතයා නොහොත් “පොන්නා නැකැත්තා” යනු වැදගත් සාධකයකි.

ඉතිහාස පොත්වල සදහන් වන ප්‍රධාන රාජකීය දෛවඥයන් වන කොත්මලේ,භරණ හා දොඩම්පේ
ගණිතයන් අතරින් ඉතා රසවත් මෙන්ම වඩාත් වැඩි වශයෙන් විස්තර සටහන් වී ඇත්තේ කොත්මලේ ගණිතයා පිළිබදවය.

ලංකාවෙ ජීවත් වූ බලවත්ම නැකැත්කරුවෙක් ලෙස සැලකෙන මොහුගේ පරම්පරාව ආරම්භ වූ ආකාරය රසවත් කථාවකි.

1. නිදන් වදුල
රාවණා රජ සමයේදී නිධන් ගත කරන ලද රන් පුහුලක් (පුහුලක හැඩයට සෑදූ රත්රන් ගුලියක්) පිළිබදව පුස්කොළ පොතක ලියවුනු නිධන් වදුලක් ඉන්දියාවේ තෙළිගු බ්‍රාහ්මණ තරුණයෙකු අතට පත්විය.

මෙම බමුණු තරුණයා නිධන් වදුල කියවා රන් පුහුල ඇත්තේ ලංකාවේ මාවෙළ ප්‍රදේශයේ "නයින් කෙළිනා තොට" නම් ස්ථානයේ ගල් දොරකින් වැසී ඇති ගල් ගුහාවක් තුළ බව දැන ගත්තේය.රන් පුහුල ගැනීමට තමාගේම දරුවකු බිළි දිය යුතු බව නිධන් වදුලෙන්ම අවබෝධ කරගත් වස්තු ලොල් මෙම බමුණු තරුණයා නිධානය ගැනීමේ අරමුනින්ම ඉන්දියාවෙන් නැව් නැග ලංකාවට පැමිණ මාවෙල ප්‍රදේශයේ කාන්තාවක් සරණ පාගෙන එහිම ජීවත් විය.

2. බිලි පූජාව
ඉන්පසු එම ස්ති‍්‍රයට දාව උපදින කුලුඳුල් පුත‍්‍රයා රන්පුහුල ගැනීමේදී බිලි දීමට වස්තු ලොල් නැකැත්තා ක්‍රියා කළේය.

බිලි
පූජාව
සාර්ථක වූ අතර රන් පුහුල ලබා ගත් බමුණා එය අරක් ගෙන සිටි නාගයා පසුපස හඹා ඒවියැයි සිතා ගල්තලාවක් මතට දිව ගිය අතර එහිදී හටගත් පිපාසය නිසා වතුර පානය කිරීමට රන් පුහුල බිම තැබීය.

එවිට ගල පලාගෙන රන් පුහුල නැවතත් එම ගලෙහි නිදන්ගත වූ බව ද රන්පුහුල බිම තැබූ ස්ථානය "පුසුල්පිටිය" ලෙස හැඳින්වූ බවද සඳහන්ය.

තම දරුවාත් නිධානයත් දෙකම නැති වීම ගැන දුක් වූ බමුණු තරුණයා සිත් තැවුලට පත්ව දිවි නසා ගැනීමට සූදානම් වුවත් ඔහුට පිහිට වූ බෞද්ධ භික්ෂුවකගේ ධර්ම දේශනයක් අසා වස්තු තන්හාව තුනී වී යහපත් පුද්ගලයකු බවට පත්විය.

මොහු නැවත තම මව් රටට නොගොස් මෙහිම නතර වූ අතර ඔහුගේ පරම්පරාවම නැකැත්තන් විය.

3. ගැමුණු රජතුමාගේ කාලය
බෞද්ධයකු බවට පත්වූ බමුණු තරුණයාගේ දෙවෙනි පුතු ගැමුණු රජතුමාගේ කාලයේ වාසය කළේය.

තම තෙළිගු බමුණු පෙළපත් නාමය වූ "පොන්නා"(පොන් යනු තෙළිගු බසින් "රන්" හෙවත් රත්රන් හැදින්වීමයි.) ඔහු භාවිතා කළ නාමය විය.තරුණ වියට පත් පොන්නා තම පියා මෙන්ම ජ්‍යොතිෂයේ හා ගුප්ත ශාස්ත්‍රයේ ප්‍රවීනයකු විය.(ලංකාවට ආ පොන්න පරපුර තම කීර්තිය වැඩීගිය පසු දකුණු ඉන්දියාවෙන් පැමිණීම හා කුල තොරතුරු වසා දැමීමක් ඔවුන් විසින්ම සිදු කලේය.)

ගැමුණු කුමරු ගුත්තා නමින් කොටගේ පිටිය නම් ග‍්‍රාමයේ අප‍්‍රසිද්ධව වෙසෙන අවධියේ වීසුරු ගෙදර ඌරු පැලැස්සේ ගම්මැහේගේ බාල දියණිය සමඟ ඇතිකරගත් සබඳතාවක් මත පසුව විවාපාත‍්‍ර විය.

පැළැල්ලදෙණියේ මහගෙදරට පදිංචියට යන්නේ ඉන් පසුවය.
ගුත්තා තමා ගැමුණු කුමරු යැයි තම බිරිඳ වූ රන්මැණිකාටවත් වෙනත් කිසිවකුටවත් නොපවසයි. එහෙත් බුද්ධංගල හා රජතලා කුඹුරු ඔහු අස්වද්දන්නේ දුටුගැමුණු කුමරු යුද්ධ කරන විට අවශ්‍ය කරන ධාන්‍ය සැපයීමේ අරමුණ ඇතිව බව ගුත්තා පවසයි.

මෙහි තමන් සමඟ දිවි ගෙවන ගුත්තා, හිද්දලයා නැතිනම් එද්දලයා කිසිවිටකවත් දුටුගැමුණු කුමරු යැයි රන්මැණිකා නොදැන සිටියද සෑම දිනකම මල්කදට (බත් පෙට්ටියට) ඇඹුල රැගෙන යාම ඇය පුරුද්දක් කරගත්තාය.

දිවා ආහාරය ගනු ලබන ගුත්තා රන්මැණිකාගේ උකුලේ හිස තබා නිදාගැනීම පුරුද්දක් කරගත් අතර එවන් දිනයකදී කුමරු විකාර සිහිනයක් දකියි. මේ සිහිනය පිළිබඳව ද ගැමි මත තුනකි.

ඉන් පළමු මතය තම බඩවැල් මුවින් පැමිණ දික් වී ගොස් නැවත කෙටි වී කුසට ඇදී යාමයි. දෙවැනි මත කුමරුගේ මහපටඇඟිල්ලේ මීයක් බැඳීමය. තුන්වන මතය කුමරුගේ දිව දික්වී එළියට පැමිණ ලංකාව වටේටම ගමන් කර නැවත කෙටි වී මුවට ඇදී යාමයි.

කෙසේ නමුදු මේ විකාර සිහිනය දැකීමෙන් කලබල වූ කුමරු ඡ්‍යොතිෂ ශාස්ත‍්‍රඥයකු සොයාගොස් සිහින පලාඵල දැනගැනීමට කල්පනා කළේය.

4. ගැමුණු කුමරු හමුවීම
"පොන්නා ගුරුන්නාන්සේ මේ ගුත්තා ළමයාට ඔහේව හම්බවෙන්න ඕන කියලා ඇවිත් ඉන්නේ..."
"කව්ද බන් ගුත්තා කිව්වේ.ආ මේ අපේ කොටගේ පිටියේ විසුරුගෙදර ඌරු පැලැස්සේ ගමරාළලැයි නැවතිලා ඉන්න ගුත්තා ළමයා නෙව.මොකෝ ළමයෝ මේ හදිස්සියේ මේ පැත්තේ."

පොන්නා ඇසූ දෙයට එකවර පිළිතුරක් නොදුන් ගුත්තා පොන්නා දෙස මොහොතක් බලා සිටියේය.යකුන් මෙල්ල කරන ගුප්ත ශාස්ත්‍ර උගත් බලවන්තයෙකු වුවද තමා ඉදිරියේ සිටින ආරෝහ පරිනාහ තරුණයාගේ තියුණු තේජස් බැල්ම ඉදිරියේ පොන්නා මදක් පසුබා ගියේය.තමා ඉදිරියේ සිටින තරුණයාට තමාව තනිව මුණගැසීමේ අවශ්‍යතාව ඇති බව පොන්නා වටහා ගත්තේය.

අතවැසියා පිටතට යැවූ පසු පසු ගුත්තා කතා කලේය.
"ගුරුන්නාන්සේ මම ඊයේ අමුතු විකාර හීන වගයක් දැක්කා.ඒ හීන වල තේරුමක් තියෙනවද කියල දැන ගන්නයි ආවේ.

"හොදයි එහෙනම් අන්න අර පේන දෙහි ගහ ලඟට ගිහින් මෙන්න මේ වතුර විදුරුව දිහා බලාගෙන රහසින් තමා දැක්ක හීනේ ගැන කියලා ඒ වතුර ටික දෙහි ගහට වත් කරලා ආවනං"

පොන්නා ගුරා පැවසූ දේ එලසම සිදුකොට ගුත්තා නැවත පොන්නා ගුරු වෙතට පැමිණියේය.

"හොදයි දැන් මෙන්න මේ බුලත් අතෙන් තමාට හිතෙන බුලත් කොළ ගානක් අතට අරගෙන ඔය ළමයා දැක්කයි කියන හීනේ ගැන මටත් කිව්වනම්."

"මම දැක්ක හීනේ හරි විකාරයක් වගේ හීනේ දැක්කේ කොටස් තුනකට වගේ මුලින්ම දැක්කේ මගේ බඩවැල් කටින් එළියට ඇවිත් දිග්වෙලා නැවත කෙටි වී බඩතුලටම ඇදී යාමයි.දෙවැනි පාර දැක්කේ මගේ දිව දික්වෙලා මුළු ලංකාද්වීපයේම වටේටම ගමන් කර නැවත කෙටි වී මුවට ඇදී යාමයි.තුන්වෙනි පාර දැක්කා මගේ මහපටැඟිල්ලේ මී වදයක් බැදලා තියෙනවා.මේ හීනවල ත්රුමක් තියේද ගුරුණ්නාන්සේ."

"ගුත්තා තමා දුටු සිහිණ විස්තර කිරීම ආරම්භ කරනවාත් සමගම කවඩි බෙල්ලන් අතට ගත් පොන්නා සිහින් හඩින් මතුරමින් කවඩි කිහිපයක් පෙත මත දමමින් කිසියම් ක්‍රියාවක් සිදු කලේය.නැවත වරක් එම ක්‍රියාව සිදු කළ පොන්නා කවඩි පෙත දෙස විශ්මයෙන් යුතුව බලා සිටියේය."

"ඔබතුමා කවුද?සිහිණ හා තත්කාලය අනුව පෙනෙන විදියට ඔබ මහා බලගතු රාජ කුමාරයෙක් විය යුතුයි.කවදා හරි දවසක ඔබ මේ රට එක්සේසත් කර රටේ මහ රජු බවට පත්වෙනවා ඒකාන්තයි.සිහිණ වලින් පෙන්වා ඇත්තේ එයයි.කාවන්තිස්ස රජු සමඟ අමනාපව රජවාසලෙන් පැන ගිය ගැමුණු කුමරු ඔබ නේද?"

" ඔබ හරි මම ගැමුනු කුමරු තමයි. ඒත් ඔබ මෙය රහසක් ලෙස පවත්වා ගත යුතුයි.ඔබ පැවසූ පරිදි සොලීන් පලවා හැර මේ රට මුදවා ගැනීම මගේ එකම අරමුණයි.ඔබගේ ශාස්ත්‍රීය දැනුමට මා ගරු කරමි."

තමා ඉදිරියේ සිටින්නේ අනාගතයේ රට භාර ගැනීමට සිටින දුටු ගැමුණු රාජ කුමාරයා බව දැනගත් පොන්නා ගුරුතුමා කුමරුට ගෞරව නමස්කාර කොට කුමරු පිළිබද රහස රැකීමට ප්‍රතිඥා දුන්නේය.

පසු කලෙක දුටු ගැමුනු රජු සොලීන් පරදවා රට එක්සේසත් කලේය.ඒ සදහා අනාගත වාක්‍ය පැවසූ පොන්නාව රාජකීය දෛවඥයා ලෙස පත්කරගත්තේය.

මෙලෙස පොන්නා නැකැත් පරපුර රාජකීය සම්මණයට පාත්‍ර වීම ආරම්භ විය.ඉන් පසු පරම්පරා ගනනක්ම පොන්නා නැකැත් පරපුර රාජකීය දෛවඥයන් ලෙස පිදුම් ලැබුවේ එම නැකැත් පරපුරේ දක්‍ෂතා ජානමය වශයෙන් ඉදිරි පරම්පරාවටද ගමන් කිරීම හේතුවෙනි.

5. නැකැත් පරපුරේ අවසන් පුරුක
පොන්නා නැකැත් පරපුරේ අවසන් පුරුක වූ "කොත්මල් ගණිතයා" මහා ප්‍රාඥයකු විය. ජ්‍යොතිෂය,ගුප්ත විද්‍යා ක්‍රම මෙන්ම හේ කවියටද දක්‍ෂයකු විය.

කොත්මලේ ගණිතයාද පොන්නා නැකැත් පරපුරේම අයෙකු වීමත් ඇතැම් ස්ථාන වල කොත්මලේ ගණිතයාවද පොන්නා ලෙස හැදින්වීම නිසා දුටු ගැමුනු කුමරුට අනාවැකි පැවසූ පොන්නා හා ඔහුගේම මුණුපුරෙකු වූ කොත්මලේ ගණිතයාව ඉතිහාසඥයන් පටලවා ගනී.

කොත්මලේ ගණිතයා රාජ සේවයට බැදුනේ කීර්ති ශ‍්‍රී රාජසිංහ (ක‍්‍රි.ව. 1747 - 82) රජතුමාගේ කාලයේදීය.ඔහුට එම තනතුර උරුම වුයේ පිය උරුමයෙනි.

කොත්මලේ ගණිතයා මාවෙල ගමේ සිට තල අත්ත කිහිළි ගන්නා ගෙන සෙන්කඩගල රාජසභාවේ රාජ සේවයට යෑම සිරිත විය. සුබ නැකතින් මන්ත්‍ර පුරවා කොත්මලේ ඔය හරහා දැමූ උස්‌ ගල්තලා හෙවත් පාදියවලට අඩි තබමින් ඔයෙන් එතෙරවීම ගණිතයාගේ පුරුද්ද විය.

6. ගණිතයෙන් කවි කීම
කොත්මලේ ගණිතයා දක්‍ෂ කවි කාරයකුද විය.දිනක් තමා ඉදිරියට වතුර පිරවූ කළයක් උකුළ තබා එන රූමත් තරුණියක් දුටු ඔහු කවියෙන් මෙසේ කීවේය.

තුන්පස සිසිලසෙහි දිසිවුවන පූරණ
තුනුවිසි සිව් කළා රතිමායම් නිපුණ
තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන
තුන් සතරෙන් එකක් හැර මාවත සිටින

කොත්මලේ ගණිතයා පැවසූ මෙම කවියේ අර්ථයද ගණිතය හා බැදී ඇත.තුන්පස (3 x 5 = 15) සිසිලසෙහි දිසිවුවන පූරණ යනු පසළොස්වක දවසෙ පේන පූර්ණ චන්ද්‍රයාටය.තුන්විසි සිව් (3 x 20 + 4 = 64) කළා රතිමායම් නිපුණ යනු 64 මායම් දන්නා බවයි. තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන යනු තුන් කල් ( එනම් අතීතය, අනාගතය හා වර්තමානය) හිදීම ලස්සන ගැනු ළමයෙක් යන්නයි. තුන් සතරෙන් එකක් හැර (3 x 4 – 1 = 11 ) මාවත සිටින කියන්නෙ 11 වන රාශිය වන කුම්භ (කළයක්) අතින් ගෙන පාරෙ සිටිනා බවයි.

7. යකාගෙන් වැඩ ගැනීම
කොත්මලේ මාවෙලගමේ පදිංචිව සිටි කොත්මලේ ගණිතයා විවාහ වූයේ උඩුනුවරිනි. ඔහුට සිටියේ දුවරුන්ම හත් දෙනෙකි. හත්දෙනාම අවිවාහක වූහ.

ගෙදර වැඩට ගණිතයා විසින් හිසේ කටුවක්‌ ගසා මෙල්ල කොට යක්‌ෂයෙක්‌ රැගෙවිත් සිටියේය. හිසේ කටුවෙන් යකාගේ බලය පාලනය වූ අතර යකා බලා සිටියේ කෙදිනක හෝ මේ උගුලෙන් ගැලවී යාමටයි. මෙකළ ගණිතයාගේ බිරිඳ ගැබ්බරව සිටියාය.

8. යකාගේ පළි ගැනීම
දිනක් ගණිතයා දුර ගමනක් ගිය අතර යකාගෙන් පවුලේ පිරිස ආරක්ෂාවන බන්ධන කර යාමට ඔහුට අමතක විය. තමාගේ හිසේ කටුවක් ඇණුනු බව ගණිතයාගේ බිරිඳට කිවූ යකා ඇය ලවා කටුව ගලවා ගත්තේය. බන්ධනයෙන් මිදුණු යකා පළමුව කළේ ගණිතයාගෙන් පළි ගැනීමට ගැබ්බර බිරිඳ හා දුවරුන් හත්දෙනා ලේ විලක්‌ මැද මරා දැමීමයි. ඉන්පසු ඌ ශ්‍රීපාද අඩවියට පළාගොස්‌ සැඟවුණේය.

ආපසු පැම්ණ මෙය දැක කෝපය ඉහව හා ගිය ගණිතයා කරුංකා ගෙඩියක්‌ මතුරා පිල්ලියක්‌ ලෙස යවා යක්‌ෂයා මන්ත්‍ර බලෙන් ගේන්වා තිස්‌පනේ පිහිටා තිබූ බුදුන්හිටිලෙන අසල ඉපැරණි ඇටඹ ගහට තබා ගෙල කපා මරා දමා ඇත. ඉන්පසු මේ ඇටඹගහ "යකඹ" ගහ නමින් ප්‍රසිද්ධ විය.

ඔහුට සිටි දූවරුන් හත්දෙනා ම අවිවාහක වූ නිසා කොත්මලේ ගණිතයාගේ බාල සොහොයුරා වූ කුඩා නැකැත්තාගෙන් අද සිටින ඔහුගේ නෑදෑ පරපුර පැවතෙයි.

Comments