2012.12.21 ලෝක විනාශය ඇත්තක්ද ?

දෙසැම්බර් මස 21 වැනිදා ලෝක විනාශය වන බවට සංකල්පයක් ලෝ පුරා ප‍්‍රචාරය වී දැනට බොහෝ කලක් ගත වී ඇත. මෙම සංකල්පය 2012-12-21 වැනිදා අවසන් වන මායා දින දර්ශනය පදනම් කොටගෙන කවුරුන් හෝ විසින් කරන ලද අනාවැකියක් වුවත් එය බොහෝ දීප දේශවල ජනතාවගේ සිත්වලට කාවැදීමට හේතුවන්නට ඇත්තේ එවන් මහා විනාශයක් තේමා කොට Day After Tomorrow චිත‍්‍රපටය නැරඹීම විය හැකිය. එහෙත් එවන් බියකරු සංකල්පයෙකින් සිදුවීමට තිබුණ විශාල මානසික හානිය මකාදැමීමට හේතු සාධක වූයේ ලොව පුරාම මෙම තේමාව පිළිබඳව සිදුවූ විද්‍යාත්මක කතිකාවන් ගොන්නය.

අප ලෝකයේ (හෝ විශ්වයේ) ආරම්භය, පැවැත්ම වගේම අනාගත සංසිද්ධි පිළිබඳව විද්‍යාත්මක කරුණු පහදා දුන් විදුධරයන් නොවන්නට මේ වන විට මහා විනාශයක් සිදුවීමට තිබුණි. සමහර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය පවා බොඳවීමට ලෝක විනාශ ප‍්‍රචාර සාධක වන්නට තිබුණු බව අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙන් ආරංචි විය. එවන් තත්ත්වයට හේතු වූයේ සංකල්පවලට ඇලී ගැලී කටයුතු කරන සමහර ගුරු භවතුන් විසින් දෙසැම්බර් 21 වැනිදා සිදුවිය හැකි ලෝක විනාශයක් පිළිබඳව ළමා සිත් තුළට විශ්වාසයන් ඇතුළු කිරීමයි. ළඟ එන මහා විනාශයක් හමුවේ අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසවීමේ පලයක් නොමැති බවට අදහස් දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳව අසන්නට ලැබේ නම් එය කෙතරම් බියකරු තත්ත්වයක් වන්නේ ද? කෙසේ හෝ මායා දින දර්ශනය මත පදනම් වී ලෝක විනාශ සංකල්ප ප‍්‍රචාරය කිරීම ලාබාල කර්තව්‍යයක් බව විවිධ ජනමාධ්‍යවලින් සාකච්ඡාවට භාජනය වීම තත්ත්වය යහපත් අතට හැරවීමට හේතු සාධක විය. එහෙත් විවිධ අන්තවාදී මතවල රැඳෙන සමහරු යථාර්ථය කුමක් දැයි අවබෝධ කරගැනීමේ නොහැකියාව යන රෝගයෙන් පෙළෙන බැවින් මේ වන විටත් ලෝක විනාශය පිළිබඳ අදහස්, පත‍්‍රිකා සහ ලිපි ලේඛන ව්‍යාප්ත කරමින් සිටිති.

විශ්වයේ සහ අප ලෝකයේ ආරම්භය පිළිබඳව සංකල්ප මත පදනම් වූ ලේඛනගත සාහිත්‍ය පවා මිනිසාගේ පරිහරණයට ගත හැකි වීම වගේම එවන් ලේඛන කියවා පෝෂිත වූ විශේෂයෙන් ම ආගමික නායකයන් විසින් විවිධ අන්තවාදී මත ව්‍යාප්ත වීම විද්‍යාත්මක සත්‍ය සැඟවී යාමට ප‍්‍රධාන හේතුව විය. ඈත අතීතයේ පමණක් නොව, අදත් එම අපරාධය සිදු වෙමින් පවතී. එසේ වුවත් බෙල්ල ගියත් ඇත්ත ප‍්‍රකාශ කිරීමට තරම් නැණවත් සහ එඩිතර වූ චින්තකයන් අතලොස්සකගේ හෙළිදරව් කිරීම් නිසා විශ්වය, හිරු, තරු, ග‍්‍රහලෝක, අපේ පෘථිවිය සහ වායුගෝලය පිළිබඳව මහා විද්‍යාත්මක දැනුම් සම්භාරයක් එකතුවීම සත්‍යාවබෝධයට අත්උදව්වක් වී ඇත. ඒ තුළින් යථාර්ථවාදීව කරුණු අවබෝධ කරගත් කෙනෙකුට ඉදිරියේ එතැයි කියන ලෝක විනාශය හමුවේ නොසැළී සිටීමට හැකි වන්නේය.

අද අපේ දු දරුවන්ගේ අධ්‍යාපන පාඨමාලා කිසිවක දේව සංකල්ප, මහා බ‍්‍රහ්ම සංකල්ප, විශ්ව කර්ම සංකල්ප හෝ ආශ්චර්ය සංකල්ප මත පදනම් වූ න්‍යාය දැකගැනීමට තිබේද? විශ්වයේ ආරම්භය පිළිබඳ විද්‍යාත්මක සාධක සහිතව, පිළිගත හැකි න්‍යාය වන මහා පිපිරුම් න්‍යාය (Big Bang Theory) පිළිබඳව ලේඛන පොත පතින් මෙන්ම අන්තර් ජාලයෙන් ද සොයාගත හැකිය.

විශ්වයේ සිදුවන නිරන්තර ප‍්‍රසාරණය සහ සාධකවල වෙනස්වීම් නිරීක්ෂණය කොට එඞ්වින් හබ්ල් (Edwin Hubble) විසින් වසර 1929 දී පමණ ලොවට හෙළිදරව් කළේ මීට වසර බිලියන 13.7 කට පෙර සිදුවූ මහා පිපිරුමක් සමග විශ්වය උපත ලද බවය. හබල්ගේ න්‍යාය සත්‍ය නම් කොස්මික් ක්ෂුද්‍ර තරංග විකිරණ අප විශ්වයේ තිබිය යුතු බවට තර්කයක් ජෝර්ජ් ගැමෝව් (George Gamow) විසින් වසර 1948 දී ඉදිරිපත් කිරීම විශ්වය නිරීක්ෂණය වෙත විද්‍යා ලෝකය උනන්දු වීමට හේතු විය. එම උත්සාහයේ සාර්ථක ප‍්‍රතිඵල වසර 1960 දී එවන් විකිරණ විශ්වයේ නිරික්ෂණය කිරීමත් සමගම ලොවට හෙළි විය.

වසර බිලියන 13.7 කට පෙර මහා පිපිරුමෙන් ආරම්භ වූ විශ්වය අංගසම්පූර්ණ නිමාවක් කරා ළඟා වන්නේ කවදා දැයි කිව හැකි ජගතෙක් ලොව නොමැත. මහා ශක්ති ප‍්‍රමාණයක් නිදහස් කරමින් පිපිරුම සිදු වී ඇති අතර, එම ශක්තිය හීන වී යන තෙක්ම විශ්වයේ ක්ෂීර පථවල තිබෙන සූර්යයන්, චන්ද්‍රයන්, ග‍්‍රාහක, වල්ගාතරු වැනි අංශු සහ පද්ධති තුළ විවිධ ක‍්‍රියාකාරකම් සහ වෙනස්කම් සිදුවෙමින් පවතී. සම්පූර්ණ විශ්වයම පිළිබඳව සාකච්ඡාවක යෙදීමට මෙවන් ලිපියක ඉඩ නොමැත. අපි වසන පෘථිවිය පිළිබඳව මේ වන විට ලෝකයට හෙළි වී ඇති කරුණු සැකෙවින් සලකා බැලීම සෑහේ යැයි සිතමි.

සූර්යයා එක් නාභියක පිහිටමින් ඒ වටා දින 365.242 ක කාලයක් තුළ ඉලිප්සීය වටයක් ගෙවන අප ලෝකය ජනවාරි මස 3 වන දා පමණ වන විට හිරුට කිලෝමීටර් මිලියන 147 ක දුරකින්ද, ජූලි මස 05 වනදා පමණ වන විට හිරුට කිලෝමීටර් මිලියන 152 ක දුරකින්ද පිහිටන පරිදි මොහොතින් මොහොත ගමන් කරන අතරම අප ලෝක ගෝලය සිය අක්ෂය (Axis) ඒ ගමන් මාර්ගයට අංශක 23.5 ක ආනතියක් පවත්වා ගනිමින් පැය 23 මිනිත්තු 56 තත්ත්පර 4.1 කාලයක් (දිනක්) තුළ අක්ෂය වටා එක් වරක් කරකැවේ. සූර්යයා උදේ උදා වී සවසට බැස යන ආකාරය ඉතා සරල දර්ශනයක් සේ පෙනී ගිය ද මේ චලිතය හෙවත් ගමන ඉතාම සංකීර්ණ වන බව එය අධ්‍යයනය කරන කෙනෙකුට පැහැදිලි වේ. සංකීර්ණත්වයේ එක් ප‍්‍රධාන ප‍්‍රතිඵලයක් වනුයේ වසරක් පාසා අපට බලපාන කාලගුණය සෘතු හතරක් හරහා වෙනස් වෙමින් විවිධ බලපෑම් ඇති කිරීමයි. මේ අතර මේ පෘථිවි මණ්ඩලය (පෘථිවිය Earth සහ වායුගෝලය Atmosphere) සතු ශක්තිය සහ සූර්යයාගේ සිට නිරතුරුව ගලා එන ඉමහත් ශක්තිය අප වායුගෝලයේ සමුදුර සහ පෘථිවි තලය තුළ විවිධ ක‍්‍රියාකාරකම් සහ විචල්‍යය නිරතුරුවම සිදුවීමට හේතුකාරක වේ.

වෙනස්වන පෘථිවි තලය, වායුගෝලයේ සහ පෘථිවි ගර්භය තුළ සිදුවන ක‍්‍රියාදාමවලින් කිහිපයක් මේ වන විට භූමිකම්පා, සුනාමි, සුළිසුළං, ටෝර්නේඩෝ, දියගොබ වළා, එල්නිනෝ ආචරණ, නැගෙනහිර සහ බටහිර තරංග, සමුදුරු දියවැල්, හිම සහ අයිස් වැසි සහ අකුණු සහිත කුණාටු ලෙස අපි හඳුනාගෙන ඇත. මීට අමතරව විශ්වයේ විවිධ කොටස් හා සම්බන්ධ වී සිදුවන උල්කාපාත සහ ග‍්‍රාහකවල ගැටුම්වලට ලෝකයට මුහුණදීමට සිදු වූයේ එදා සිටමය. ඒ ඒ සංසිද්ධිවල දී අප ලෝකය මහා ආපදා සහ ව්‍යසනවලට මුහුණ දී ඇති නමුදු ඒ අවස්ථා පිළිබඳව විද්‍යාත්මක විග‍්‍රහ කිරීමට අසමත් වූ බහුතරයක් විසින් ආශ්චර්ය, ලෝක විනාශය, දේව කෝප, මහා බ‍්‍රහ්ම කෝප, කර්මය, පෙර කළ පව් පලදීම ආදී මාතෘකා මත හිඳ ඒවා විග‍්‍රහ කළා මිසක් සාධක විශ්ලේෂණය හරහා විද්‍යාත්මක හෙවත් යථාර්ථවාදී පැහැදිලි කිරීම විද්‍යා ලෝකයට පමණක් සීමා විය. සත්‍ය පහදා දීම ජීවිතයත් මරණයත් අතර තීරණයක් බවට පත්වී තිබුණ වකවානු අතීතයේ තිබුණු අතර, එවන් තත්ත්ව අද ද නූගත් සහ අවිද්‍යාත්මක සමාජවලින් ඇසේ. මේ කාලයේ වුවද අධ්‍යාපන පාඨමාලා බොහෝමයක් විද්‍යාත්මක සාධක බැහැර කොට සකස් වී ඇති හෙයින් විද්වතුන් ලෙස සමාජයේ කැපී පෙනෙන සේ සමහර ජනමාධ්‍ය අරක්ගෙන සිටින බහුතරයක් පවා පැරණි සංකල්ප, විශ්වාස සහ ගතානුගතික අදහස් අනුව යමින් අවිද්‍යාත්මක කරුණුවලින් ජනතා මනස පුරවාලීම සත්‍ය වශයෙන්ම කනගාටුදායකය.

අද ලොව නන්දෙසින් අසන්නට ලැබෙන මහා පරිමාණයේ ස්වාභාවික විපත් ලෝක විනාශයේම කොටස් යයි අදහස් ද ප‍්‍රකාශ කරන්නෝ නැතිවා නොවේ. ලෝක ගෝලයේ ස්වභාවයෙන් ම සිදුවන උස් සහ පහත්වීම් පිළිබඳ සාක්ෂි ඉතිහාසයේ එමටයි. ඊට අමතරව මිනිසා විසින් සිදු කරන විවිධ ක‍්‍රියාකාරීත්ව නිසා සිදුවීගෙන යන මිහිකත උණුසුම් වීමේ අයහපත් ප‍්‍රතිඵල මේ වන විටත් විශාල විපත්වලට හේතු වී ඇත. ඉතාමත් අයහපත් පරිසරවල පවා නගර, නිවාස ඉදි කරමින් ජනාකීර්ණ වීම ලොව ස්වභාවික විපත්වල ද මිනිස් ජීවිත සහ දේපළ හානියට එක් හේතුවක් වන අතර, දියුණු ජනසන්නිවේදන ජාල හරහා ක්ෂණයෙන් පණිවුඩ හුවමාරුව ද විපත්වල ඉහළ යාමක් සිදු වී ඇති බව තීරණය කිරීමට තවත් හේතුවක් යයි සිතමි.

2012-12-21 දින ලෝක විනාශයක් සිදුවන බවට මායාවරු හෝ වෙනයම් කෙනෙක් විසින් අනාවැකි ප‍්‍රකාශ කළත්, නොකළත්, එදාටත් ස්වභාවික විපත් ගෙන එන සාධක ක‍්‍රියාත්මක වීමේ ඉඩකඩ ඇත. ඒ ස්වභාවයයි. ප‍්‍රාදේශීය මට්ටමේ විවිධ ආපදාවලට ඒවා හේතු විය හැකි වුවද ලෝකයම විනාශ වීමට නම් මහා ග‍්‍රාහකයක් ක්ෂණිකව අප ලෝකය වෙත කඩා වැටිය යුතුයි. එහෙත් අද විදු ලොව සතු තාක්ෂණවලට එවන් ග‍්‍රාහක කඩාවැටීම් මාස ගණනක් කල් තියා නිරීක්ෂණය කිරීමේ ශක්තිය සතුය. මේ යථාර්ථය හඳුනාගෙන ලෝක විනාශ සංකල්පය, සංකල්ප පමණක් ම බව අවබෝධ කරගනිමු.

ශ්‍රී ලංකාවාසී අපි මෙනෙහි කර ගත යුතු වැදගත් කරුණක් ද මතක් කරමි. සුළි සුළංවල සෘජු බලපෑම්වලට ශ්‍රී ලංකාව වැඩියෙන්ම භාජනය වන්නේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී බවට 2000 සුළිසුළං සහ 1978 සුළි සුළං හොඳම සාක්ෂි වන්නේය. එවන් ආපදාවලට ලක්වීමේ සම්භාවිතාව ඉහළ නිසා සැවොම දිනපතා පුවත්වලට සවන් දී ආපදා අඩු කරගැනීමට අවශ්‍ය පියවර ගනිමු. දෙසැම්බර් 21 දා ලෝකයට සාමාන්‍ය දිනයක් වේවි.

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ. කේ.ආර්. අභයසිංහ



ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පුරවැසි ජාතික සංවිධානය මගින් ප‍්‍රකාශයට පත් කරනු ලබන ‘‘සයන්ස් ඇන්ඞ් ටෙක්නොලරි’’ මංගල කලාපයේ පළවු ලිපියකි.










Comments