පිටසක්වළ ජීවීන් හමුවුණු මිනිසුන්ගේ කතා

පිටසක්වල යානා ලෙස සැකකරනු ලබන අද්භූත ආකාශ වස්තු මෙන්ම පිටසක්වල ජීවීන් පැමිණි බවට විශ්වාස කළ හැකි අරුම පුදුම රූපකායක් සහිත ජීවීන් දුටු අවස්ථා ගණනාවක් ලෝකය පුරා වාර්තා වී තිබේ. මේ අතර පෘථිවි වාසීන් රැගෙන ගොස් පිටසක්වලින් පැමිණි ජීවීන් විසින් නොයෙකුත් පර්යේෂණ සඳහා යොදාගත් බව පවසන සිදුවීම් රාශියක් ද ලොව පුරා වාර්තා වී තිබේ.

1978 ඔක්තෝබර් මස 21 වැනි දිනයයි. මෙල්බෝන්හි පදිංචි ෆෙඞ්රික් වැලන්ටිච් ලාබාල ගුවන් නියමුවෙකි. ඔහු විසි හැවිරිදිය. එදින රාති‍්‍රයේ කෙස්නා 182 වර්ගයේ සැහැල්ලූ ගුවන් යානයක් පදවමින් හෙතෙම බාස් ස්ටේ‍්‍රට් ප‍්‍රදේශයට ඉහළින් ගමන් කරමින් සිටිය දී ඔහු හදිසියේම අතුරුදන් වූවේය. එම යානය සොයා ගැනීමට තවත් යානා යෙදවිණි. ගුවන්ගත වී පැයකට පමණ ආසන්න කාලයක් ගියපසු මෙල්බෝන් පාලක මධ්‍යස්ථානය හා සම්බන්ධ වූ වැලන්ටිච් පාලක මැදිරියෙන් විමසා ඇත්තේ තමන් ගමන්කරමින් සිටින ස්ථානය ආසන්නයේ අඩි 5000ක් පමණ ඉහළින් වෙනත් ගුවන් යානයක් ඇත් ද යන්නයි. එයට පාලක මැදිරියෙන් ලැබී ඇති පිළිතුර එවැනි ගුවන් යානයක් එම මොහොතේ දක්නට නොලැබෙන බවකි.

ඔහු පවසා ඇත්තේ පාලක මැදිරිය එසේ කීව ද තමන්ට අඩි 500ක් පමණ ඉහළින් ඉතාමත්ම දීප්තිමත් කොළ පැහැති ආලෝක හතරක් විහිදුවන විශාල අද්භූත යානයක් ගමන් කරමින් සිටින බවයි. එය ගණනය කළ නොහැකි තරම් වේගයෙන් තමන් පසු පස ගමන්කොට නැවත ආපසු හැරී පැමිණ තමන්ට හරියටම ඉහළින් ගමන් කරමින් තිබෙන බවයි. එම යානය තමන් සමග ඍජුව ඉහළින් සිටින බවත් ඔහු කියා තිබේ. ඔහු අවසන් වරට සඳහන් කොට ඇත්තේ තම යානයේ එන්ජිම අසාමාන්‍ය ආකාරයට ගැස්සෙන බවකි. ඒ සමගම ඔහුගේ හඩ නොඇසී ගියේය. සංවාදය නතර වූයේ මහ හඩක් නගමිනි.

වැලන්ටිච් පැහැරගත්තේ පිටසක්වල යානයකින් විය හැකි යැයි කියමින් ලොව පුරා මාධ්‍ය එයට පුළුල් ප‍්‍රචාරයක් ලබාදුන්න ද ඇතැම් පිරිස් මෙය පිළිගැනීමට මැළිකමක් දැක්වූහ. ඔහුගේ පියා මාධ්‍යයට කියා ඇත්තේ තමන්ගේ පුතා පිටසක්වල ජීවීන් සහ පිටසක්වල යානා පිළිබඳ දැඩි උනන්දුවකින් පසුවූ බවයි.

බ‍්‍රසීලයේ ශාන්ත ප‍්‍රැන්සිස්කෝ හි සේල්ස් ගම්මානයේ පදිංචි ගොවියකු වූ ඇන්තෝනියෝ විලාස් බෝස් 1957 ඔක්තෝබර් 15 දා තමන් පිටසක්වල ජීවීන්ගේ පැහැරගැනීමට ලක්වූ බව පවසයි. ඔක්තෝබර් 13 වැනිදා ඔහු තම ඇඳේ නිදමින් සිටියේය. ටික වේලාවකින් කාමරයේ ජනේලයකින් නිවස ඇතුළට එල්ල වූ විශාල ආලෝක කදම්භයකි. එය ටික වේලාවකින් ඈතට විහිදී ගියේය. පසුදා එනම් ඔක්තෝබර් 14 දා ඇන්තෝනියෝ තම සොහොයුරා සමග නිවසින් පිටත වාහනය සෝදමින් සිටියේය. මේ අතර එකවරම ඔවුන් සිටි දෙසට ඈතින් ආලෝක කදම්භයක් අහසින් පොළොවට එල්ලවී තිබෙනු දක්නට ලැබිණි. ආලෝක කදම්භය වෙත ඔවුන් යද්දී එය පිහිටි ස්ථානය විටින් විට වෙනස් කරමින් ඈතින් ඈතට ගමන් කළේය.

ඊට පසුදා සිදුවූයේ තවත් අපූරු සිදුවීමකි. තම රථයේ කාර්මික දෝශයකට පිළියම් යොදමින් සිටි ඇන්තෝනියෝ දුටුවේ තමන්ට මීටර් 15ක් පමණ ඈතින් පොළොවට ආසන්නයේ නවතා පාවෙමින් තිබෙන වස්තුවකි. මේ අවට දිවා කාලයේ මෙන් ආලෝකවත් වී තිබේ. ක‍්‍රමයෙන් විශාල ආධාරක තුනක් පොළොවට ඇදී ආවේය. ඇන්තෝනියෝ තම රථයට නැග වහා ඉවත්වන්නට සූදානම් වුව ද රථය පණගැන්වුණේ නැත. රථයෙන් බැසගත් ඇන්තෝනියෝ මෙම ස්ථානයෙන් හැකි වේගයෙන් ඈතට දිව යන්නට වූවේය.

‘‘මට දුවන්න ලැබුණේ ටික දුරක් පමණයි. කවුරුන් හෝ මාව පිටුපසට ඇද්දා. මම නතර වුණා. හෙල්මටයක් පැළඳි අරුම පුදුම මිනිසකු වගේ ජීවියෙක් මගේ අසලින්ම සිටියා. මට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. මම හැකිතාක් වැර යොදා පහර දුන්නා. මේ ජීවියා උඩින් විසිවී ගොස් වැටුණා. ඒ සමගම ඒ වගේ තවත් ජීවීන් තුන් දෙනෙක් මාව අල්ලා ගත්තා. ඔවුන් මාව අර අරුම පුදුම යන්ත‍්‍රය දෙසට රැුගෙන ගියා. මම දගලමින් කොතෙක් කෑ ගැහුවත් පලක් වුණේ නෑ. යානයක් වැනි එයට නැගීමට ඉනිමගක් තිබුණා. මම එහි දෙපස වැට අල්ලාගෙන නැගීමට බාධා කළත් ඔවුන් මාව බලෙන්ම වාගේ යානය ඇතුළට ගත්තා.’’

ඔහු පවසන්නේ යානයේ සම චතුරස‍්‍රාකාර ස්ථානයක් ලෝහමය බිත්තිවලින් ආවරණය වී තිබූ බවයි. මේ කුටියේ ඇන්තෝනියෝ දෙපයින් සිට ගත්තේය. තරමක් කුඩා මිනිසුන් වැනි ජීවීන් පස් දෙනෙක් ඔහු වටකරගෙන සිටියහ. දෙදෙනකු ඔහු අත් නොහැර සිටිමින් අණ්ඩාකාර හැඩැති වෙනත් කාමරයකට ගෙන ගියේය. එහි මැද ලෝහමය කණුවක් තිබූ අතර එයට සම්බන්ධවී මේසයක් හා පුටු කිහිපයක් ද තබා තිබිණි. මේ ස්ථානයේ සිටිමින් මේ අමුතු ජීවීන් බල්ලන් උඩුබුරලන ආකාරයෙන් ශබ්ද කළ බව ඇන්තෝනියෝ පවසයි. ඔහු කියන්නේ විටෙක කෙටි හා විටෙක දික්වූ ශබ්ද ඔවුන්ගේ මුවින් පිටවූ බවකි. විවිධාකාර ශබ්ද එකවිට නිකුත් කළ මොවුන්ගේ භාෂාව පෘථිවියේ කිසිදු භාෂාවක් නොවන බව ද ඔහු පසයි.

මේ සංවාදයෙන් පසු ඔවුහු ඇන්ටෝනියෝ නිරුවත් කළහ. ඔහු බියෙන් ගැහෙමින් කොතෙකුත් දැගලූව ද ඔවුන් ඇන්ටෝනියෝට හානියක් කරන බවක් පෙනෙන්නට තිබුණේ නැත. අනතුරුව එක් ජීවියකු පැමිණ තෙත යමකින් ඇන්ටෝනියෝගේ සිරුර සම්පූර්ණයෙන්ම පිස දැමුවේය. එය වතුරවලට වඩා ගණකම් බවක් දැනුන ද එය තෙල් වැනි ද්‍රාවණයක් ද නොවුණු බව ඇන්ටෝනියෝ පවසයි.

පසුව වෙනත් කාමරයකට ඔහු කැඳවාගෙන ගියේය. ඉන්පසු රබර් නාල දෙකක් ඇති උපකරණයක් රැගෙන ආ අයෙකු එක් කෙළවරක් ඔහුගේ නිකටට සවි කළේය. අනෙක් කෙළවර ඇග පුරා ගමන් කරවූ අතර එම උපකරණය ක්ෂණිකව රුධිරයෙන් පිරී ගියේය. එහෙත් ඇන්ටෝනියෝ පවසන්නේ තමන්ට කිසිදු වේදනාවක් නොදැණුනු බවයි. මේ අද්භූත ජීවීන් ඔහු කාමරයේ තනිකොට දමා එතැනින් ඉවත්වීමත් සමගම කාමරය දැඩි දුර්ගන්ධයකින් පිරී ගියේය.

මේ සමගම ඇන්තෝනියෝට දෑස් අදහාගත නොහැකි දර්ශනයක් දක්නට ලැබිණි. තමන්ට වඩා උසින් අඩු ඉතා සුන්දර යුවතියක් නිරුවතින් තමන් ඉදිරියේ පෙනී සිටියාය. ඇගේ නිකට දිගැතියි. ඇස් විශාල නිල් පැහැතිය. ඉතා කුඩා නාසය සෘජුව පිහිටා තිබේ. ඇගේ කන් යුගල සාමාන්‍ය පරිදි පෙනෙන්නට තිබේ. හිසකෙස් ඇතත් එය ඉතා තුනීය. සුදු පැහැතිය.ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ශනය වී සිටියේය. එහෙත් ඇය ඇන්ටෝනියෝ සමග කතා කළේවත් නැත. සුහදත්වයක් දැක්වූයේ ද නැත. එහෙත් ටික වේලාවකින් එතැනට පැමිණි අයකු ඇයට කතා කළේය. ඇන්තෝනියෝ දෙසට හැරුණු ඇය තම උදරය දෙසට දෑත් දිගුකොට අනතුරුව අහසට අතක් දිගු කළාය. මේ සිදුවීම සිහිවන විට ඔහු තවමත් බියට පත්ව සිටියේය.

යළි ඔහුට අඳුම් ඇඳීමට අවසර ලැබුණු අතර ඔහු යානය වටා රවුමක් ගෙනගොස් ඉනිමග දිගේ පහළට එවා තිබේ. අනතුරුව යානයේ ආධාරක ටිකෙන් ටික හැකිලූණු අතර එය ආලෝකය විහිදුවා සිතා ගැනීමටවත් නොහැකි තරම් අධික වේගයකින් ඉහළ අහසට ඇදී ගිය බව ඇන්තෝනියෝ පවසයි.

ඇන්තෝනියෝ පවසන්නේ තමන්ට එම යානයේ පැය හතරක පමණ කාලයක් ගත කිරීමට සිදුවූ බවයි. යානයෙන් පිටතට එද්දී ඔහුට කිසිදු අපහසුවක් නොදැනුන ද තද කුසගින්නක් දැනී තිබේ. පසුව ඔහු මේ බව තම හිතවතකු වූ වෛද්‍ය නොන්ස්ට් හට පැවසුවේය. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ ඇන්තෝනියෝ හට කිසිදු හානියක් සිදුව නොමැති බවයි. නමුත් ඔහුගේ නිකටේ විකිරණවලට භාජනය වීමෙන් ඇතිවූ තුවාල කැළලක් තිබිණි.

ඔහු පවසන ආකාරයට ඔහුට මුණගැසුනු පිටසක්වල ජීවීන් ඇගට තදවූ ඇඳුමකින් සැරසී සිටියේය. හිසෙහි හෙල්මටයකි. එහි සිදුරු අතරින් ලා පැහැති ඇස් දිස්වේ. හෙල්මටයේ ඉහළින් නාලාකාර බට වැනි විවර තුනක් විහිදී තිබේ. මින් එක් බටයක් පිටුපසින් යළි ඇඳුමට සවිවී ඇත. අනෙක් නාල දෙක උරහිස් දෙපසින් ඇඳුමට සම්බන්ධ වේ. ඇඳුමේ අත කෙලවර වී ඇත්තේ ඉතා ඝනකම් අත්වැසුමකිනි. පාදයේ සපත්තු පැළඳ සිටින අතර ඒවා අගල් දෙකක් පමණ උසැති අඩියකින් සමන්විතය. අලෝකය පරාවර්තනය වන පළිගුවක් වැනි විශාල ගෝලාකාර යමක් පපුවේ ඉදිරියේ දක්නට ලැබෙන අතර එය තවත් දීප්තිමත් පටියකින් ඇඳුමට සම්බන්ධවී තිබේ.

දිගින් දිගටම හීනෙන් බියවී කෑ ගසන ඇන්තෝනියෝ අධික හිසරදයකින් සහ පීනසෙන් පීඩා වින්දේය. ඔහුගේ ඇස් දැවිල්ල ද දිගටම දක්නට ලැබිණි. වරින් වර සිරුරේ තැන් තැන්වල තුවාල හටගත්තේය. මේ අසාමාන්‍ය තුවලා වේළෙන විට දම්පැහැති වූයේ වෛද්‍යවරුන් පවා පුදුමයට පත්කරමිනි. බොහෝ දෙනකු කියා සිටියේ එම තුවාල අභ්‍යවකාශ ජීවීන්ගෙන් ඇන්තෝනියෝට ලැබුණු දායාද බවයි.

මෙක්සිකෝවේ විසූ ජෙසී ලෝන්ග් 1957 දී අපූරු අත්දැකීමකට මුහුණ දුන්නේය. එවිට ඔහු පසුවූයේ පස්වැනි වියේය. තම සොහොයුරා සමග සිටිය දී ඔහු දුටුවේ පෙනෙන දුරින් නවතා තිබූ අපූරු වස්තුවකි. මෙය අහසේ පාවෙමින් තිබූ බැවින් මේ සොහොයුරන් දෙදෙනා ගසකට මුවා වී ඒ දෙස බලා සිටියහ. එවිට ඔවුන් දුටුවේ ඉතා කෙසග සිරුරක් සහිත විශාල හිසක් සහ ගෝලාකාර ඇස් ඇති අමුතු මිනිසුන් දෙදෙනකු තමන් අසල සිටින බවයි. ක්ෂණයකින් මේ දෙදෙනා ඒ මිනිසුන් විසින් අල්ලා ගන්නා ලදී.

ජෙසීට ඉන්පසු සිදුවූ දෙයක් මතක නැත. ඔහුට මතක ඇත්තේ ඉන්පසු යම් තැටියක් වැනි මේසයක් මත හාන්සි වී සිටි බවකි. තමන් දුටු අමුතු මිනිස්සු රැුසක් ඔහු වටකරගෙන සිටියහ. ඔවුහු තම වම් පාදයේ පහළ කොටසට යමක් ඇතුළු කරමින් සිටි බව ද ජෙසීගේ මතකයේ තිබිණි.

යළිත් ඔහුට සිහි නැතිවූ බව ජෙසී පවසයි. මේ අවස්ථාවේ සිය සොහොයුරාද පැහැරගෙන ගොස් ඇති පිටසක්වළ ජීවීන් ඔහු වෙනත් කාමරයක රඳවා තබා ඇති බව ද ඔහු කියා සිටියේය. යළි නිවසට ආ ජෙසී සහ සොහොයුරා සුපුරුදු පරිදි ජීවත් වූවේය. මේ කතාව ඔවුන් කොතෙක් අයට කීව ද කිසිවෙකුත් එය විශ්වාස කළේ නැත. නමුත් වයස අවුරුදු 35 පමණ වනවිට ජෙසී මෙවැනි පැහැරගැනීම් කිහිපයකටම ලක්වූවේය. අවසානයේ ඔහු මේ සියල්ල මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර ඇත. මාධ්‍යයට මෙය කියනවිට ජෙසී කීවේ තමන් අවසන් වරට පිටසක්වල ජීවීන් විසින් පැහැර ගනුලැබ ඇත්තේ වාහනයේ ගමන් කරමින් සිටින අවස්ථාවක බවයි. වාහනය සමගම ඔවුන් තමන් සිය යානයට ඇදගත් බව ඔහු ප‍්‍රකාශ කළේ තැතිගැන්මෙන් යුතුවය.

එම අවස්ථාවේදීත් මුල් අවස්ථාවේදී මෙන් සමතල මේසයක හාන්සිකොට තබා ඇස් කන් ආදී සියලූ ඉන්ද්‍රියයන් පරීක්ෂාවට ලක්කළ බවත් ඔවුහු කුඩා බිලිඳකු ඔතන ආකාරයේ රෙදි කඩක එතූ යමක් තමන් දෙසට දිගු කළ බවත් ඔහු පවසයි. ඒ අවස්ථාවේ සිය සුවිසල් දෑස්වලින් මේ අමුතු ජීවීන් මේ ඔබේ පුතා යැයි පවසන ආකාරයක් තමන්ට තේරුම් ගිය බව ද ජෙසී කියයි.

ඔහු පවසන්නේ එම රෙදි කඩ මෑත් කර බැලූ විට කුඩා පිටසක්වල ජීවියකු සිටි බවයි. එවැනිම රෙදි කඩකින් ඔතන ලද කුඩා ළමයි නව දෙනකු එම ස්ථානයේ සිටි බව ද ජෙසීගේ මතකයේ තිබේ. ජෙසී මේ පුවත මාධ්‍යයට හෙළි කිරීමත් සමගම මනෝ වෛද්‍යවරු කණ්ඩායමක් ජෙසී සහ ඔහුගේ සොහොයුරා මෝහනයට පත්කළේය. මෝහන නිද්ද්‍රාවෙන් ද ඔවුන් කියා සිටියේ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසූ කතාවට සෑම අතින්ම සමාන වූ කතාවකි. මනෝ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ජෙසී පවසන කතාව මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව සත්‍යය කතාවක් බවයි.තවත් පර්යේෂකයෝ පිරිසක් ජෙසී ස්කෑන් පරීක්ෂණයකට ලක්කළහ. එහි ප‍්‍රතිඵලය වූයේ ජෙසීගේ වම් පාදයේ පහළ කොටසේ පමණක් නොව සිරුරේ තැන තැන අමුතු ආගන්තුක වස්තු ඇති බවයි. අනතුරුව ශල්‍ය කර්මයක් මගින් ඔහුගේ දණහිසට පහළින් ඇති ආගන්තුක වස්තුව ඉවත් කැරුණි. කුඩා ඝන ද්‍රව්‍යයක් වූ එය ලෝකයේ අධි තාක්ෂණික උපකරණ භාවිත කරමින් විශ්ලේෂණය කිරීමට කොතෙකුත් උත්සාහ ගත්ත ද මෙහි අඩංගු මූලද්‍රව්‍ය කිසිවක් සොයා ගැනීමට හැකියාව ලැබුණේ නැත.

වරක් ඇමෙරිකාවේ මේ ආකාරයට පිටසක්වල ජීවීන්ගේ ග‍්‍රහණයට නතුවූ මිනිසුන්ගේ අත්දැකීම් සහිත රූපවාහිනි වාර්තාමය වැඩසටහන් මාලාවක් පවා නිෂ්පාදනය කැර තිබේ. එහි පැමිණි බොහෝ දෙනා කියා සිටි කරුණුවලින් පෙනී ගියේ ඔවුන් එකිනෙකාට සමාන තොරතුරු සමුදායක් ඉදිරිපත් කරන බවයි.

මොවුන් සියලූ දෙනාම කියා සිටි වැදගත් කරුණක් වූයේ ඔවුහු නිවසේ ඇඳ මත සිටියදී මෙලෙස පැහැරගත් බවයි. බොහෝදෙනකු නිල් පැහැති ආලෝකයක් නිවස ඇතුළට එල්ලවූ බව බොහෝදෙනා පවසති. මේ අති දීප්තිමත් ආලෝකයත් සමග නිදා සිටි තමන් අවදිවූ බවත් ඉන්පසු සිදුවූයේ කුමක්දැයි නොදන්නා බවත් පවසා තිබේ. යම් තරමකින් සිහි ලැබ බලනවිට අසාමාන්‍ය ස්ථානයක අමුතු ජීවීන් විසින් තමන් වටකරගෙන සිටින ආකාරය දුටු බවත් යළි ඔවුන් විසින්ම නිවසට ගෙනවිත් ඇරලවන බවත් පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීමට ලක්වූ බව පවසන මේ පුද්ගලයෝ කියති.

මෙහි තවත් විශේෂත්වයක් තිබේ. මෙම අත්දැකීමට මුහුණ දුන් සැවොම පවසන පිටසක්වල ජීවීන්ගේ රූපකාය ද සමානත්වයක් දැරීමයි. ඔවුන් විස්තර කරන ආකාරයට පිටසක්වල ජීවීන් ඉතා කෙසග උසැති ශරීරයකට හිමිකම් කියයි. බැලූ බැල්මට අතිශය දුර්වල සිරුරක් ලෙස පෙනෙන මේ ශරීරයේ දෑත් අසාමාන්‍ය දිගකින් යුතු බවත් විශාල හිසක් ඇති බවත් පවසා ඇත. තද කළු පැහැති විශාල ඇස් යුගලත් ක්ෂීණ වූ නාසයක් හා කුඩා මුඛයක් ඇති නමුත් කතා කරන බවක් නොඇසෙන බව ද පැහැර ගැනීමට ලක්වූවෝ පවසති. ඔවුන් පවසන්නේ පිටසක්වල ජීවීන් තම අදහස් හුවමාරු කරගන්නේ ඇසින් සහ සිතිවිලිවලින් බවයි. ඔවුන් කියන දේ තමන්ට හොඳින් තේරුම් යන ආකාරයට දැනෙන බව ද පවසා තිබේ. පෘථිවි වාසීන් පැහැරගෙන ගොස් සැත්කම් පවා කළ බවත් ඇතැම් පිරිස් වාර්තා කැර තිබේ. එක් ඇමෙරිකානුවකු පවසන්නේ පැහැර ගැනීමට ලක්වූ තමන්ට පිටසක්වල ජීවීන් ලිංගික අතවර කළ බවයි. තම ශුක‍්‍රාණු ඔවුන් විසින් ලබාගන්නා ලද බව ද ඔහු කියයි.

ඇමෙරිකාවේ වාර්තා වැඩසටහනකට සහභාගි වූවන් කියා සිටියේ තමන් පැහරගන්නා පිටසක්වල ජීවීන් තම ශරීරයට යම් සියුම් උපකරණ ඇතුළත් කළ බවයි. එමෙන්ම මේවා නාසය මගින් සහ කන ඔස්සේ යැවූ බවත් ඒ අතර කුඩා ගල්කැබලි වැනි උපකරණ තිබූ බව ද ඔවුන් දන්වා සිටියි. කෙසේ වෙතත් මේ පුද්ගලයන් ස්කෑන් කිරීමේ දී පෙනී ගියේ ඔවුන් කියූ පරිදි යම් ආගන්තුක දෙයක් ශරීරයේ අස්ථිවලට කිඳා බැස ඇති බවයි.

ඒවා ශල්‍යකර්ම මගින් ඉවත් කළ පර්යේෂකයෝ විවිධ ක‍්‍රමෝපාය භාවිත කරමින් ඒ පිළිබඳ විශ්ලේෂණය කිරීමට කොතෙකුත් උත්සාහ දැරුව ද ඒ සියලූ තැත් ව්‍යර්ථ වී ගියේය. ඒවායේ අඩංගු ද්‍රව්‍ය හෝ සංයෝග පිළිබඳ කිසිදු අවබෝධයක් ලබා ගැනීමට පෘථිවියේ විද්‍යාඥයන් සමත්වී නැත. විද්‍යාඥයන් පවසන්නේ ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති මූලද්‍රව්‍ය 110 කින් එකදු මූලද්‍රව්‍යයක් හෝ එහි අඩංගු නොවන බවයි. මෙලෙස ලොව පුරා මිනිසුන් අභ්‍යාවකාශ ජීවීන් විසින් පැහැරගෙන විවිධ පර්යේෂණවලට යොදාගත් අවස්ථා රැසක් වාර්තා වී තිබේ.


වැලන්ටිච්ගේ පියා අතුරුදන් වූ තම පුතුගේ ඡායාරූපයක් අතැතිව

වැලන්ටිච් සහ ඔහු ගමන්ගත් යානය

ඇන්තෝනියෝ පවසන්නේ පිටසක්වල යානයේ දොර මත මෙම සටහන යොදා තිබූ බවයි

ඇන්තෝනියෝ දුටු පිටසක්වල ජීවියාගේ සිතුවමක්

ඇන්තෝනියෝ සටහන් තබා ඇති තමන් දුටු අභ්‍යාවකාශ යානය

ඇන්තෝනියෝ

ජෙසී ලෝන්ග්

Comments