රාවණා රජතුමා පිළිබඳව වන මතවාදය

රාවණා රජතුමා පිළිබඳව වන මතවාදය මේ වනවිට සමාජයේ බොහෝ විද්වතුන්ගේ උගතුන්ගේ මෙන්ම ඉතිහාසඥයන්ගේද අවධානයට ලක්ව ඇත. එහෙත් ඔවුනොවුන් අතර මතුවන තර්ක විතර්ක ඔස්සේ පෙනීයන්නේ රවාණ රජු මිත්‍යාවක් හා මිත්‍යාවක් නොවේය යන්න ප‍්‍රකාශ කරන දෙපිරිසම තම තර්ක සඳහා පදනම් කරගෙන ඇත්තේ රාමායනය පමණක් වන බවය. එහෙත් රාමායනය වනාහි ඉන්දියානුවන්ගේ මනදොල පිරවීම සඳහා ආදි ඉන්දියානු සාහිත්‍යකරුවන් විසින් පෝෂණය කරන ලද වීර කාව්‍යයක් පමණක් වන බව පැහැදිලිය. එහෙයින් රාමායනයට රාවණා චරිතාපාදනය ලෙස ගෙන රාවණා රජු ජීවනමාන කරවීම හෝ රාවණා යනුවෙන් තිරිසනකු හෝ ලංකාවේ සිට නැත යන්න ප‍්‍රකාශ කිරීම බුද්ධිගෝචර නොවේ.


කෙසේ නමුදු රාවණාරජු පිළිබඳව අධ්‍යනය කිරීමට හා ඉතිහාසය ගවේෂණය කිරීමට ජනශ‍්‍රතිය පිළිබඳව අධ්‍යනය කිරීම මෙන්ම හෙළවෙදකම, යන්ත‍්‍රමන්ත‍්‍ර, හෙළ සටන්, හා ජ්‍යොතිශය යන විද්‍යා පිළිබඳව මනාව අධ්‍යනය කළ යුතුය. ඒ මන්දයත් හෙළ වෙදකමතුළ අදටද රාවණා යනු ජීවමාන හෙළ වෙද සක්විත්තෙකි. මේ ඒ පිළිබඳව ජ්‍යෙෂ්ඨ ඉතිහාසඥ ආචාර්ය සුරිය ගුණසේකර සමග කළ සාකච්ඡාවකි.



ප‍්‍රශ්නය : රාවණා රජු පිළිබඳ කතාබහ කරන කොට බොහෝ දෙනෙකුගේ සිත්වල මැවෙන්නෙ හිස් දහයක් ඇති. උඩුරැුවුල සහිත. දළ ඇති. අත් විස්සකින් ආයුධ ගත් විකෘති සත්ත්වයෙක්. මෙය කොයිතරම් දුරට ගැලපෙනවාද යන්න සහ රාවණාරජු අප විසින් දැකිය යුතු වන්නේ කොයි ආකාරයටද යන්න කතා බහ කළ යුතුයි. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
පිළිතුරු: ඇත්තටම ඔබ ඇහුවෙ කාලීන මෙන්ම වඩාත් හොඳ ප‍්‍රශ්නයක් මේක ඇත්තටම කනගාටු දායක තත්ත්වයක්. ඒ නිසා අපි රාවණා රජුගේ පරම්පරාව ගැන හොඳ අධ්‍යනයකින් කතාබහ පටන් ගමු. රාවණාරජු පුලස්ති පාරම්පරාවට අයත් බව රාමායනය ඇතුළු සංස්කෘත සාහිත්‍යයෙන් පැහැදිලි වනවා. මෙය ලේ \ඥාති පරම්පරාවකට වඩා වෛද්‍ය පරම්පරාවක් බව ආයුර්වේද පොතපතින් ඔප්පු වෙනවා. පුලස්ති සාමිවරයා අයත්වන්නේ බ‍්‍රහ්මගේ මානස පුතුන් සත්දෙනා අතරටයි. මෙයද ලේ ඥාතීන්ත්වයට වඩා එක් කරන ප‍්‍රබල ගුරුකුලයක් ලෙස හඳුනාගන්න පුළුවන් මේ දරුවන් සත්දෙනා කාර්යයන් ගණනාවකට විශේෂඥතාව දක්වන නිසා එක් ගුරුවරයකුගේ ශිෂ්‍යයන් සත්දෙනා පුතුන් ලෙස සංකේතාත්මකව දක්වා තිබෙනවා. ලෝකය විනාශ වී ගියවිට නැවත සත්ව වර්ග බිහිකරන මත්ස්‍යයා රැුකගන්නේද මෙම මානස දරුවන් සත්දෙනා බව කියවෙනවා. එය නැවතත් සංකේතවත් කර දක්වන්නේ මිනිසාට අවශ්‍ය සියලූ විද්‍යා හා ශිල්ප කලා මෙම පරපුරින් බිහිකර ඇති බවයි.


පුලස්ති සාමිවරයා තෘණබින්දු සාමිවරයාගේ අසපුවේ සිිටියදී තමාගේ ධ්‍යානයට බාධා කළ කන්‍යාවන්ට ශාපයක් කළා. ඒ තමා ධ්‍යානයෙන් අවධි වී දෑස් විවර කරන විට පළමුවෙන් දුටු තැනැත්තිය ගැබ්ගනීවා යනුවෙන්. මෙම ශාපයට හසුවුණේ තෘණබිංදුගේ දියණි හවිරගුයි. මේ නිසා පුලස්තිට තමා පියා ලෙස පිළිගෙන ඇයට බිරිඳ ලෙස සැලකූ බව රාමායණයේ හා වෙනත් ”පුරාණ” ග‍්‍රන්ථවලද සඳහන් වනවා. මේ විදිහට අතිශෝක්තියෙන් දැක්වුණත් මේ සියලූ දෙනාම ඓතිහාසික පුද්ගලයන්.


”අනුරාධපුර” වෙස්සගීරි සෙල්ලිපිවල ත්‍යණබින්දු (තණචොබග) නාමය සඳහන් නිසාත්, පොලොන්නරුව ”පුලස්තිනගර” ලෙස මහාවාංශයේ හඳුන්වා ඇති නිසාත් විශ‍්‍රවස්ගේ (විසව) නාමයද වෙස්සගීරි ලිපිවල ඇති නිසාත්, පුලස්ති හා විශ‍්‍රවස්ගේ ලංකා සම්භාවය ගැන සැකයක් නැහැ. කතරගම අසල මහින්දපුර මධ්‍යස්ථානය (වැඩහිටිකන්ද) කරගත් සුමාලි රකුස් රජුගේ දියණිය වූ කෛකාසි කුමරිය විශ‍්‍රාවස් මුණිකට දාව රාවණා බිහිකිරීමද නිසා පුලස්ති වෛද - සාමි පරම්පරාවේ රාවණාගේ ඓතිහාසික බව පැහැදිලියි.


රාමායණයේ ”රාවණාරජු” නැමති මානසික චිත‍්‍රය නිසාත් හිස් දහයක් සහිතව කඩු මුගුරු අතින් ගත් දකුණු ඉන්දියාවේ දේවාලවල ඇඳ ඇති රකුසු චිත‍්‍රය නිසාත් සාමි - වෛද්‍යවරයකුගේ සැබෑ ස්වරූපය යටපත් වී තිබෙනවා. මෙනිසා රාවණා නැමති ඒ මහා වෛද්‍ය විශේෂඥයාගේ ස්වභාවය සිතට ගත් විට මැවී පේන්නේ මහා පඬිවරයෙක්. එමෙන්ම ප‍්‍රාඥයෙක්.


චරිත පුර්ණකාවේ සඳහන් ආකාරයට රාවණා රජුගේ පුත‍්‍රයා ”උපේන්ද්‍ර මිණි” නම් වෙයි. ඔහුගේ මධ්‍යස්ථානය හෝ බල ප‍්‍රදේශය ගැන තොරතුරු කිසිවක් දැන ගැනීමට නැහැ. නමුත් ”උපේන්ද්‍රමිණි”ගේ පුතුන් දෙදෙනා වන රවිශෛලාශ හා කේවේයාස්ත ගැන තොරතුරු තිබෙනවා. ඔවුන් දෙදෙනාගේම පාලන මධ්‍යස්ථාන ආශි‍්‍රතව ඔසු උයන් දෙකක් තිබුණු බව මේ ග‍්‍රන්ථයේ සඳහන් වනවා. රවිශෛලාශගේ මධ්‍යස්ථානය වුණේ රකුන්ගිර නොහොත් රිටිගල ආශි‍්‍රත ප‍්‍රදේශයයි. අදත් ”ඖෂධ කන්ද” නැමති ස්ථානයක් රිටිගල කඳුවැටියේ තිබෙනවා. ඔහු රාවණා වෙද පරපුරේ ඍෂි - පාලකයකු බව ඉන් සනාථ කරන්න පුළුවන්.


දෙවැනි පුත‍්‍රයා වු කේවේසස්ථ යාපන අර්ධද්වීපයේ කන්කසන්තුරේ ආශි‍්‍රත මධ්‍යස්ථානයක සිට පාලනය කළ අතර ”කේවෙසස්ථ මන්ඨක පදියට” නමින් වර්ගපුර්ණිකාව එය හඳුන්වනවා. උතුරු කොදව්වේ රාවණා රජු විසින් පිහිටවන ලද ”පදිසර්ගය වන්ඨාල” නම් ඔසු වනය ආශ‍්‍රය කරගෙන මෙම රාජධානිය පැවතීම නිසා අගනුවරක් මුල්බැස ගැනීම ඔසු උයනක් මුල්කරගෙන සිදුවීමට තරම් වෛද්‍ය කර්මයන් රාවණා පරපුරට වැදගත් වී තිබෙන බවයි. ඒකෙන් පැහැදිලි වෙන්නේ.


රවි ශෛලාශ කුමරුන්ගේ රකුන්ගිර නොහොත් සත්නානාගිර නොහොත් රිටිගල ආශි‍්‍රත මුල්බැස ගත්තේ ”අරවුදසෝත” නම් ඖෂධ උයන මුල්කරගෙනයි. සත්නානාගිර කියන එකේ තේරුම තමයි ගිරි සතක නායකත්වය කියන එක. ඔසු උයනක් ආශ‍්‍රය කරගෙන පාලන මධ්‍යස්ථාන හා සාමිවරයා පාලකයා වශයෙන් වාසය කිරීම හරියට 11 වැනි සියවසෙන් පසු දළදා වහන්සේ ආශ‍්‍රය කරගෙන ලංකාවේ රජ මාළිගය හා අගනුවර ස්ථාපිතවීම වගෙයි.




ප‍්‍රශ්නය : හොඳයි ඔවුන් සතුව තිබූ ඒ වෛද්‍ය කර්මය පිළිබඳව පැහැදිලි කළොත්? දැන් පවතින වෙදකම හා ආදි හෙළ වෙදකම අතර මොනවගේ වෙනසක්ද දකින්න ලැබෙන්නේ?
පිළිතුර : වෛද්‍ය කර්ම හැමවිටම ජ්‍යෝතිෂය හා බැඳී පැවතුණා. අද ජ්‍යෝතිෂය යනුවෙන් මිනිසාට බලපාන හඳහන බැලීම, නැකැත් සෑදීම ආදි කටයුතු කීපයක් පමණයි අදහස් කෙරෙන්නේ. නමුත් ඊට වඩා පුළුල් ජ්‍යෝතිෂ විද්‍යාවක් අතීතයේ තිබුණා. හිරු රැස් වායුගෝලය හරහා ඒමෙන් පෘථිවිය මතුපිටට ඇතිවන බලපෑම, හිරුගේ රැස් අනෙකුත් ග‍්‍රහලෝකවල පතිත වී පෘථිවියට පරාවාර්තනය වීම නිසා ඇතිවන බලපෑම්, හා ඒවා ශාඛවලට හා සතුන්ට බලපාන ආකාරය හා එම ශාඛවල ධාන්‍ය, පලතුරු හා එළවළුද, සතුන්ගේ ක්ෂිරයද මිනිසා ආහාරයට ගත්විට ශරීරයේ ඇතිවන ප‍්‍රතිකි‍්‍රයා දක්වාම විනිවිද දකින්න මේ විද්‍යාවට හැකියාව තිබුණා.


මේ සෘජු හිරු කිරණ වගේම පරාවර්තන ග‍්‍රහ කිරණත් මිනිසාට ඇති කරන ශුභ හා අශුභ ගැන සොයා බලා අශුභ තත්ව මගහරවා ගැනීමට ග‍්‍රහ පුජා, බලි පුජා, නැටුම් ගැයුම් (තොවිල්), භේරී වාදන (යක්බෙරය) තුළින් සිදුකෙරුණා. රාවණා රජුට පෙර මහාබලි රජු විසින් බලියාගය හා ශාන්තිකර්ම හඳුන්වා දෙන ලද බව නාට්‍යචාර්ය ජේ.ඊ. සේරදමන් විසින් තම පාරම්පරික උගැන්වීම් ඇසුරින් දක්වා තිබෙනවා. මේ සියල්ල මිනිසාගේ නිරෝගි බව හා අපල සපල කර ගැනීම දෙසටයි එල්ල වී තිබුණේ. මිනිසා කියන්නෙ අහස පොළොව මැද තෙරපී ජීවත්වන සත්වයකු වීම නිසා එම අහස පොළව හැදෑරීම ඔහුට වැදගත් වුණා.




ප‍්‍රශ්නය: හොඳයි රාවණා රජතුමා කළ වෙදකම පිළිබඳව ඇති සාක්‍ෂි හා තොරතුරු මොනවාද?
පිළිතුර : රාවණා රජතුමා නාඩි ශාස්ත‍්‍රයෙන් රෝග මුල්‍ය සෙවීම, ශාඛ වෙදකමින් රෝග සුව කිරීම, කල් තබාගන්නා අර්ක සම්පාදනය, පත්ථ්‍යාපත්ත්‍ය ආහාර මගින් නිරෝගී බල ලබා ගැනීම, වෛද්‍ය ආචාර්ය ධර්ම ආදී අංශයන් හි විශාරදයෙක් බව එතුමා විසින් සම්පාදනය කරන ලද කුමාර තන්ත‍්‍ර, උඞ්සිය තන්ත‍්‍ර, නාඩු ප‍්‍රකාශ, අර්ක ප‍්‍රකාශ, මර්ම විඥානා, විධි වෛද්‍යක ආදී ග‍්‍රන්ථවලින් පැහැදිලියි. නමුත් මේ සියල්ලටම වඩා සුවිශේෂි වන්නේ රස ශාස්ත‍්‍රය නොහොත් ”රස වෙදකම මගින් කිරීමට පුළුවන් එවායේ න්‍යායන් පමණක් අද අප අතර ශේෂ වී තිබෙනවා.”


ආයුර්වේද ඉතිහාසයේ උගන්වන විදිහට රාවණා රජුගේ කාලය වනතුරු රසදිය ප‍්‍රයෝජනයට ගැනුනේ රත්රන් නිපදවීමට පමණයි. කි‍්‍රස්තු පුර්ව 8 වැනි සියවසේ පමණ විසු නාගර්ජුන ආචාර්යන් විසින් හඳුන්වන පරිදි රන් සෑදීම සහ ලෝහවල තත්ත්වය උසස් කිරීමට රසදිය යොදාගැනීම ”ලෝහ වේදය” නම් වෙනවා. මේ ගැන ලියැවුණු සංස්කෘති ග‍්‍රන්ථ රැසක් තිබෙනවා. නමුත් පළමුවැනි වරට හා අංග සම්පුර්ණ වශයෙන් රසදිය මිනිස් ශරීරයට මුසුකර ශරීරය බල ගන්වන හා වයසට යාම වළක්වාලන ”දේහවේදය” කි‍්‍රයාත්මක කර තිබෙන්නේද රාවණා වෛද්‍යතුමා විසිනුයි.කුසට ගත් ආහාරය පළමුවෙන්ම ”රස” බවට පත්වන්නේයැයි ආයුර්වේදය උගන්වනවා. ඉන්පසු රක්ත (ලේ), මාංශ, මේද, ඇට, ඇටමිදුළු පෝෂණය කරමින් අවසානයේ ”ශුක‍්‍ර” නිපදවයි. ”රසදිය” නොහොත් ලෝහ ශරීරයට අවශෝෂණය කරන්නේ එම රස අවස්ථාවේදීයි. නමුත් මේ අප දකින ”අමු රසදිය” අවස්ථාව නොවේ. සම්පුර්ණයෙන් හෝ එක්තරා ප‍්‍රමාණයකට නිශ්චල කරන ලද රසදිය තමයි මේ විදිහට භාවිතා කරන්නේ.




ප‍්‍රශ්නය: නමුත් ”දේහවේදය” ඔය තරම් බලගතු නම් රාවණා රජතුමා ඔය විද්‍යාව සොයාගැනීමට කලින්, ඒ වනවිටත් යම් බලගතු දැනුම් සම්භාරයක් භාවිත විය යුතුයි. නැතිනම් රාවණා රජුට මේ වැනි දැනුමක් එක්වර පහළ විය හැකියි. කියන එක් තරමක් පිළිගත නොහැකි නේද?
පිළිතුරු : නැහැ දේහවේදය වැඩිදියුණු කර හපන්කම් කිරීමට රාවණා රජුට පදනම් වුණේ මේ වෙනකොටත් කි‍්‍රයාත්මකව තිබුණු දඬුමොනර සංකල්පය නොහොත් පුෂ්පක රථය සඳහා පොළොවේ විවිධ ස්ථරවලින් ලබාගත් ලෝහවර්ග තවත් ලෝහ සමග මිශ‍්‍රකර හා සංස්කරණය කර සැහැල්ලූ , ශක්තිමත් හා උෂ්ණත්වයට, පීඩනයට ඔරොත්තු දෙන ආකාරයට සකසා තිබීම බව සහේතුකව නිගමනය කරන්න පුළුවන්. පංච මහා භූතයන්ගෙන් නිර්මිත ද්‍රව්‍යමය ලෝහය තත්ත්වයෙන් උසස් කළ හැකි නම් ඒ පංච මහා භූතයන්ගෙන්ම නිර්මිත මිනිසාගේ ද්‍රව්‍යමය ශරීරයද තත්ත්වයෙන් උසස් කළ හැකිවීම තමා උගත් රස ශාස්ත‍්‍රයේ මූලධර්මය බව නාගර්ජුන සඳහන් කර තිබෙනවා.

ආචාර්ය සූරිය ගුණසේකර


ප‍්‍රශ්නය : රස වෙදකම ගැන කතාබහ කිරීමේදී රාවණාරජතුමා යනු සුවිශේසී පුද්ගලයකු නම් ආයුර්වේදයේ දී රාවණා නාමය පිළිබඳව සුවිශේෂීත්වයකින් කතාබහකළ යුතුයි නේද?
පිළිතුර : රස වෙදකම පිළිබඳව පශ්චාත් උපාධි ධාරි එකම විශ්වවිද්‍යාලය කථිකාචාර්ය වෛද්‍යවරිය (දේශීය වෛද්‍ය පීඨය ,කොළඹ විශ්වවිද්‍යාලය) පවසන විදිහට ඇය තම පශ්චාත් උපාධිය සඳහා බරණැස විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයට ඇතුළත්වු විට කථිකාචාර්ය වරුන් ඇයගෙන් අසා තිබෙනවා රස වෙදකම උපන් රාවණාගේ රටේ අය රස වෙදකම හැදෑරීමට උත්තර භාරතයට එන්නේ ඇයි කියලා ඉන්දියානු ආයුර්වේද ක්‍ෂේත‍්‍රයේ රසවෙදකම හා ලංකාව පිළිබඳ හැඟීම එබඳුයි. ඒ අදහස උත්තර භාරතීය ආයුර්වේදය තුළට මිත්‍යාවක් ලෙස හෝ ඇදහිල්ලක් ලෙස ඇතුළු වුණා වන්නට බැහැ. ඊට ගැඹුරු පදනමක් තිබිය යුතුයි. රාවණා රජතුමා එම දැනුම ලොවට දායාද කිරීම එයට හේතුවයි.




ප‍්‍රශ්නය : හොඳයි ඒ සියල්ල ඇත්තයි හිතමු. මොකක්ද රසදිය නිශ්චල කිරීම කියන්නේ?
පිළිතුර : රසදිය නිශ්චල කිරීම කියන්නේ එහි ගමන් කිරීමේ වේගය නැති කිරීමයි. රසදිය හැන්දකට ගෙන බිමට දැමුවොත් කුඩා කුඩා බෝල ගණනාවකට කැඞී ඒ ඒ දෙසට දිව යනවා දැකගන්න පුළුවන්. එයින් විශාල ගුලියක් ගෙන නැවත බිමට දැමුවොත් තවත් කුඩා බෝල ගණනාවකට ඒවා කැඩි කැඞී චලනය වෙයි. තවදුරටත් අංශු නොකැඩෙන තත්ත්වය දක්වා එය සංස්කරණය කරන්න පුළුවන්. රසදියෙන් රන් සෑදීම සඳහා රසදිය සංස්කරණය කිරීමේ විධි 18ක් රස ශාස්ත‍්‍රයේ දක්වා තිබෙනවා. මේ සංස්කරනයන් අවසානයේදී රසදිය නිශ්චලවී රත‍්‍රන් සෑදීමට පුළුවන්. උත්තර භාරතීය ආයුර්වේද ක‍්‍රමය තුළ තවමත් ඉන් අත්හදා බලා ඇත්තේ විධි 8ක් පමණයි. චන්ද්‍රගුප්ත අධිරාජයා සමයේදී චානක්‍ය නොහොත් කෞටිල්‍ය බ‍්‍රාහ්මණයා විසින් ලියන ලද ”අර්ථ ශාස්ත‍්‍රය” නැමති ග‍්‍රන්ථයෙහිද,”රස සිද්ධ ස්වර්ණ” නොහොත් රසදියෙන් සාදන ලද රත‍්‍රන් ගැනත් එසේ සෑදීම ගැනත් සඳහන් වනවා.


වෛද්‍යකර්මයන් ගැන ප‍්‍රසිද්ධ සාමිවරුන් අතුරින්ද රස ශාස්ත‍්‍රය දැන සිට අය ඉතා අල්පයි. කි‍්‍රස්තු වර්ෂයෙන් පසු සියවස්වලදී පවා වෙද පවුල් කිහිපයක් පමණක් රස ශාස්ත‍්‍රය උගෙන ඉතා රහසිගතව වනගත ස්ථානවලදී රන් නිපදවීම හා මිනිස් සිරුරට හිතකර ඖෂධ වර්ගද නිපදවා තිබෙනවා. රස ශාස්ත‍්‍රයේ මූලධර්ම ලියැවුණු පතපොත හා ඒ දන්නා වෛද්‍යවරුන්ද ලංකාවේ සිටියත් ඒවා අත්හදා බලා නැහැ. භාරතයේ සංස්කරණවිධි 8ක් අත්හදා බලා තිබෙනවා ”රස සිද්ධි පුද්ගලයකු” ලෙස හැඳින්වෙන්නේ රසදිය නිශ්චල කිරීමට දන්නා අයයි.” මර්කරි වෝටෙක්ස් එන්ජින්” නැමති රසදිය ආධාරයෙන් (ඉන්ධන ලෙස) කි‍්‍රයාත්මක වන යන්ත‍්‍රයක් ඇති ගුවන් යානාවක් නිපදවීමට එක්සත් ජනපදය සමත්වූ බව 1998 දී හෙළිදරව් වී තිබෙනවා. අභ්‍යාවකාශ ගතකරන ලද මර්කරි ෂ , මර්කරි ෂෂ යානා දෙක එබඳු ඒවායි. පැරණි ගුවන්යානා නොහොත් ”විමාන” කි‍්‍රයාත්මක වුණේ රසදිය යෙදු යන්ත‍්‍ර මගින් බව මහාසෘෂි භාරද්වාජ විසින් රචිත ”වෛමානික ශාස්ත‍්‍ර” නැමති ග‍්‍රන්ථයේ සඳහන් වනවා. මේ නිශ්චල කරන ලද රසදිය බව නිගමනය කළ හැකි නමුත් කුමන අවස්ථාව දක්වා නිශ්චල කළ රසදිය දැයි දැනගැනීමට නැත.




ප‍්‍රශ්නය : ඔබ ඔය කියන ”රස සිද්ධි” පුද්ගලයෙකුට කළ හැකි දේවල් මොනවාද?
පිළිතුර : රස සිද්ධි පුද්ගලයන්ට සාමාන්‍ය අයට කළ නොහැකි සුවිශේෂි දේ කරන්න පුළුවන්. ඒ රසදිය සිරුරට අවශෝෂණය කරවීම මගින් ලෙඩරෝග නොසෑදෙන පරිදි ඔරොත්තු දීමේ ශක්තිය සිරුරට ලබාගැනීම, ස්වාභාවිකව සිදුවන වයසට යාමේ සීග‍්‍රතාවය අඩුකර තරුණ බවෙන් සිටීම, මියගිය පසුව ශරීරය දියවී වැහැරී යාම වළක්වා දීර්ඝ කාලයක් තබාගැනීම හා ප‍්‍රාණය නොහොත් ”ශක්ති” සිරුරෙන් පිටවී ගිය පසුවද බාහිරව දෘෂ්‍යමාන වන කෙස්, නිය, රැුවුල වැඞීම, හම රැළි ගැසීම වළක්වාලීම, මාංශය එලෙසම පවත්වා ගැනීම ආදි දේ රස විද්‍යාව දන්නා අයකුට කළ හැකියි. මේ සඳහා පිරිය යුතු පිළිවෙත්, පිළිපැදිය යුතු වතාවත්, අනුභව කළ යුතු ආහාර, ඒ ඒ නැකැත් හා මුහුර්ත අනුව ජපකළ යුතු මන්ත‍්‍ර ආදියත් තිබෙනවා. ඒවා පිළිනොපැද ඉන්ද්‍රජාලමය ස්වරූපයෙන් ශරීරය මියගිය පසු ආරක්‍ෂා කළ නොහැකියි. ගෝවේහි ඇති ශාන්ත ක්ෂේවියර් (පෘතුගීසි) බව පවසන කෙස්, නිය, රැුවුල වැඩෙන මෘත ශරීරය පෘතුගීසි පූජකවරයකුගේ වීමට නොහැක්කේද මෙම හේතුව නිසයි. රස සිද්ධි පුද්ගලයකු විසින් රසදියවල තත්ත්වය වෙනස් කිරීම ආයුර්වේදයේ හඳුන්වන්නේ ”රසායන” ලෙසටයි. මෙම රසායන කි‍්‍රයාවලිය නිසා ශරීරයට අවශ්‍ය ආකාරයට සිත මෙහෙයවීමට පුළුවන්. බුදු දහමෙහි ඉගැන්වෙන්නේ ඊට විරුද්ධ කි‍්‍රයාව වන සිතට අනුව ශරීරය හැසිරවීමයි. යෝග ව්‍යායාමවලින්ද ශරීරය සිතට අනුව කි‍්‍රයා කරවීමට පුහුණු කරනවා. ධ්‍යාන භාවනාවලින් සිත ”ශක්ති” සමග එකතු කර මොහොතක් තුළදී විශ්වයට යවා ආපසු ශරීරයට ගෙන්වා ගැනීමට පුළුවන්. රස විද්‍යාවෙන් කි‍්‍රයාත්මක වන්නේ ඊට විරුද්ධ පාර්ශවය වන ශරීරය බලවත් කිරීමයි. රාවණාරජු දඩබ්බර තද පුද්ගලයකු වූයේ මනසට වඩා ශරීරය බලවත් නිසා විය හැකියි.


රාවණා රජු තමන් දන්නා විද්‍යා ගැන පමණට වඩා ආත්ම විශ්වාසයෙන් යුක්ත වූ බව වාල්මිකී රාමායණයේදී පෙන්නුම් කරනවා. එය උඩඟු අහංකාරකම දක්වා ගමන් කළ බවත් රාමායනය කියවන විට වැටහෙනවා. ඒ වගේම රාවණා රජුගේ නැගණිය වූ ශුපර්ණාකාගේ නාසය සිඳින ලද ලක්ෂ්මණ නිසාත්, 12000ක් රකුස් ජනතාව ඝාතනය කිරීම නිසාත්, රාම කුමරු තමන් ළඟට ගෙන්වා ගැනීමට උපායක් ලෙස රාවණා රජු සීතාව පැහැරගෙන ආ බවත් රාමායනය කියවන විට හැඟී යන තවත් කරුණක්. සීතාට කිසිදා අතවරයක් නොකරන ලද බව ඒත්තුගැන්වීම අවශ්‍ය වන විදිහට රාමායනය රචනා වී ඇති බව පැහැදිලියි. සීතා පැහැරගෙන ආවේ රාමකුමරු ලංකාපුරයට ගෙන්වා දඬුවම් ලබාදීමට බව රාමායනය කියවන විට පැහැදිලි වනවා.




ප‍්‍රශ්නය : වාල්මිකීගේ රාමායණයේ දක්වා ඇති පරිදි රාවණා රජුට විවිධ වෙස් ගැනීමට පුළුවන්. ඊජිත්තුවේ මන්ත‍්‍රකරුවන්ටත් මේ හැකියාව තිබුණු බව පුරාවෘත්තවල දැක්වෙනවා. එංගලන්තයේ ඇති ඉදල්මිට, කොහුමිට ආදියෙහි නැගී යන මායාකාරියන් ගැන දැක්වෙන පුරාවෘත්ත වැනි මේ දේ ඔබ ඔය කියන ලෝහ විද්‍යාවට අනුව තරමක් දුරට යථාර්ථවාදියි නේද?
පිළිතුර : ඔව්. ඔය පුරාවෘත්ත හුදු බොරු බේගල් ලෙස සම්මතයට පැමිණ අවුරුදු දහස් ගණන් පැවතීමට නොහැකිය. ඇතැම්විට අතිශෝක්ති තිබීමට පුළුවන්. රාවණාගේ ලංකාපුරය ස්වර්ණපුරයක් බවත් තමා විසින් එය විනාශ කරන ලද බවත් හනුමාන් විසින් රාමකුමරුට දැනුම් දෙනවා. රසදිය නිශ්චලකළ හැකි අයකුට රන් නිපදවා ස්වර්ණලේපිත පුරයක් ඇතිව සිටීමටද හැකියාව තිබෙනවා.


ආයුර්වේද ඉතිහාසයේ දැක්වෙන පරිදි විවිධ විෂයන් 10ක් පිළිබඳ විශේෂඥ දැනුමක් (දශවිධ ඥාන) රාවනා රජුට තිබුණා. එනිසාම ඔහු දසීස් රාවණා යැයි සම්මත වුණා. මෙම වචනය (දසීස්) වරදවා ගෙන ඉන්දියානු කෝවිල්වල හිස් දහසක් හා රකුසු මුහුණු ඇති අත් විස්සක් සහිත සත්වයකු ලෙස රාවණා රජුගේ රූපය නිර්මාණය කර තිබෙනවා. අපේ රටෙත් පුවත්පත්, සඟරාවල හා රූපවාහිනියේ රාවණා රජුට හැඳින්වීම සමඟ ප‍්‍රදර්ශනය කරන්නේ එම බහුභූත රූපයි. එබැවින් හිස් 10ක් හා අත් 20ක් ඇති මනුෂ්‍යයකු ලොව පහළවිය නොහැකි බවට ඇතැම් මහාචාර්යවරු තර්ක ඉදිරිපත් කරමින් රාවණා යනු මිත්‍යාවක් බව ප‍්‍රකාශ කිරීම පුදුමයක් නොවේ. ඒ ඔවුන් රාවණා රජු හැඳිනගත් ආකාරයයි.




ප‍්‍රශ්නය : රාවණා රජතුමා විසින් රචනා කරන ලද ග‍්‍රන්ථ පිළිබඳවත් පැහැදිලි සාක්‍ෂි තිබෙනවාද?
පිළිතුරු: වෛද්‍ය ශාස්ත‍්‍රය වෙනුවෙන් රාවණා රජතුමා කළ මෙහෙවර ඉමහත්. ඔහු සම්පාදනය කරන ලද ග‍්‍රන්ථ ගණනාවක් තිබෙනවා. රාවණා රජු මිත්‍යාවක් යැයි කීමට රාජකීය ආසියාතික සංගමය විසින් 2010.7.17 වැනි දින විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් රාශියක් සමග මහා සම්මන්ත‍්‍රණයක් පැවැත්වුණා. ඒත් ඒ අය දැනසිටියේ නැහැ. නුගේගොඩ පිහිටි ”මොඩර්න් බුක් කම්පැණි” වෙතින් සිංහලට පරිවර්තනය කරන ලද රාවණා රජුගේ ඇතැම් වෛද්‍ය ග‍්‍රන්ථ මිලදී ගැනීමට තිබුණු බව. මේ තිබෙන්නේ එවැනි පොත් සහ ඒවායේ තොරතුරු කෙටියෙන්.


අර්ක ප‍්‍රකාශන: විවිධ ශාඛ කොටස්වල එකතු කළ සාරය උණුකර වාෂ්ප වන්නට හැර නැවත එම වාශ්පය සිසිල් කර එකතු කරගෙන ආරක්‍ෂා කරගන්නා අරිෂ්ඨ ආසව වර්ග නිපදවීමේ ක‍්‍රමය මෙහි විස්තර වනවා. මෙය සම්පාදනය කර ඇත්තේ දෙදෙනකු අතර ඇතිවන සංවාදයක ස්වරූපයෙන්. අර්ක යන්ත‍්‍රය සාදාගන්නා ආකාරයේ පටන් ශාඛ යුෂ එකතු කර පැසවා වාෂ්ප කර සිසිල්ව එකතු කර ගත් ඖෂධ භාජනවල තැන්පත් කිරීම දක්වා විස්තර එහි අඩංගුව වනවා. ද්‍රව්‍ය, ගුණ, මාත‍්‍රා, යෙදීම් යන ශීර්ෂ යටතේ මෙම කි‍්‍රයාවලියේ වර්ගකිරීම් දක්වා තිබෙනවා. අර්ක නැමති පැරණි වචනයම ”ර” යන්න හල් කිරීම වෙනුවට ”ක” යන්න හල් කර ”අරක්” ලෙසට එය ඉංගී‍්‍රසි භාෂාවට බිඳී තිබෙනවා. එබැවින් සිංහලෙන් එම වචනය ”අරක්කු” ලෙස උච්චාරණය වනවා.
නාඩි ප‍්‍රකාශ : මෙහි අඩංගු වන්නේ හදවතේ ගැස්ම, අතේ මැණික් කටුව අසලදී නහරය ඇඟිලි තුනකින් ස්පර්ශ කරමින් වා, පිත්, සෙම් යන මූල තුන අතරින් රෝග කාරකය විනිශ්චය කිරීම ගැනයි. මෙම වා, පිත්, සෙම් සංකල්පය (තිදෝෂ) ලොවට හඳුන්වා දුන්නේ රාවණා රජුගේ සීයා ලෙස හඳුන්වන පුලස්ති බව ”සුශ‍්‍රැත” නැමති ආයුර්වේද ග‍්‍රන්ථය සඳහන් කරනවා. එය තවත් ඉදිරියට ගෙන යාම මේ අනුව රාවණා රජු විසින් සිදුකර තිබෙනවා. මුළු ශරීර කි‍්‍රයාකාරිත්වය වා, පිත්, සෙම් යන මූල ස්වභාවයන් දක්වා සරල කර රෝගයට හේතු වූ මූල ස්වභාවය හැඳින ගැනීමට අවශ්‍ය දැනුම මෙහි දැක්වෙනවා.


කුමාරතන්ත‍්‍ර : ළමයින්ට හා ළදරුවන්ට වැළඳෙන විවිධ රෝග විග‍්‍රහ කිරීම, ඒවා හැඳින ගැනීම හා ප‍්‍රතිකාර විධි මෙහි ඇතුළත් වෙනවා. ළදරු අවස්ථාවේදීම ලේ ධාතුව ශක්තිමත් කර රෝග ජයගැනීම සඳහා ළදරුවාට දිය යුතු ඖෂධ වර්ග විස්තර කිරීමක්ද එහි තිබෙනවා. එකම රෝගය සඳහා විවිධ ආකාරයේ ඖෂධ සංයෝග කුමාර තන්ත‍්‍රයෙහි ඇතුළත්. මහාචාර්ය ගුණපාල ධර්මසිරි පවසන පරිදි ලංකාවේ ඇති අධික ජෛව විවිධත්වය නිසා මෙසේ එකම රෝගය සඳහා වට්ටෝරු අධික සංඛ්‍යාවක් තිබෙන නමුත් ජෛව විවිධත්වය අඩු උත්තර භාරතයේ එම රෝගය සඳහාම ඇති වට්ටෝරු විවිධත්වය අඩුයි.


උඞ්ඩිය තන්ත‍්‍රය : රෝගියා මෝහණයට ලක්කර ඔහුගේම යටිසිත මගින් රෝග විස්තර ලබාගැනීම හා කෙම්, යන්ත‍්‍රමන්ත‍්‍ර, ශාන්තිකර්ම වැනි ගුප්ත විද්‍යාත්මක ක‍්‍රමයන්ද, ජ්‍යොතිෂමය ප‍්‍රතිකාරයන්ද මෙහි ඇතුළත්. මහාචාර්ය ගුණපාල ධර්මසිරිගේ ”වෛද්‍ය ශාස්ත‍්‍රයේ ස්වභාවය” නම් කෘතියේ මේ පිළිබඳ දීර්ඝ විස්තර දැකිය හැකියි. එමෙන්ම වෛද්‍ය විද්‍යාව සඳහා රාවනා රජුගේ දායකත්වය ගැනද විග‍්‍රහයක් මෙහි සඳහන් වෙනවා.
මර්ම විඥාන: මූලික වශයෙන් ”නිල ශාස්ත‍්‍රය” ගැන මෙහි කරුණු සඳහන් වී තිබෙනවා. ශරීරයේ නිල පිහිටි ස්ථානයන් හා ඒවායේ ප‍්‍රබල හා දුබලතා ද එම නිල ස්පර්ශ කිරීමද සම්බන්ධ විස්තරාත්මක දැනුමක් මෙහි අඩංගු වෙලා තියෙනවා. ශරීරයේ මර්ම ස්ථාන යනු මෙසේ ස්පර්ශයෙන් හා තදින් කම්පනය කිරීමෙන් ශරීර කි‍්‍රයාකාරිත්වය අකි‍්‍රය කිරීම හා ප‍්‍රබල කළ හැකි ස්ථාන වනවා.


පාහියන් නැමති සංචාරක චීන භික්ෂුව ලංකාවේ සිට චීනයට ගෙනගිය ”විදුම් පිළිස්සුම්” ප‍්‍රතිකාර ක‍්‍රම ඇතැම් විට රාවණා යුගයේ සිට ආ ප‍්‍රතිකාර විධීන් වන්නට පුළුවන්. දැන් එය ආපසු ”ඇකියුපංචර්” නමින් චීන සළුපිළි වලින් සරසා නැවත ලංකාවට පැමිණ තිබෙනවා. ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කිරීමටත් යුද්ධයේදී සතුරන් නොමරා හා තුවාල නොකර මෙල්ල කර ගැනීමටත් යන උභය කාර්යයන් සඳහාම නිල ශාස්ත‍්‍රය උපකාරී වනවා. නිර්වින්දන තොරතුරු නිසා ශල්‍යකර්මයන්ද සිදුකෙරුණු බව අනුමාන කරන්න පුළුවන්. මොකද දේශීය වෙදකමට ශල්‍ය වෛද්‍ය කර්මත් ඇතුළත්.


කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පෙන්වා දෙන ආකාරයට දේශීය වෙදකමේ ස්වර්ණමය යුගය තමයි රාවණාරජුගේ යුගය. රෝග වලක්වාගැනීම, රෝග සුවකර ගැනීම, ආයුෂ දීර්ඝ කරගැනීම, නොහොත් ජරාවට පත්වීම ප‍්‍රමාද කිරීම, නිරෝගි ශක්තිමත් හා ප‍්‍රාඥාවන්ත දරුවන් ලබාගැනීම වගේ ඉහළම සෞඛ්‍ය මට්ටම් කාලයේදී මෙරට තිබුණු බව ඤාණවිමල හිමියන් ප‍්‍රකාශ කරනවා.


ඒ වගේම පණ්ඩිත විලියම් අල්විස් කියන වෛද්‍ය විශාරදයන් මේ සඳහා හොඳ කරුනු විග‍්‍රහයක් කර තිබෙනවා. විජයාගමනයට පෙර යුගයේදී මෙරට දියුණු වී තිබුණු විදුම් පිළිස්සුම් හා ඇදුම ප‍්‍රතිකාර විධි රාවණා යුගයේ ප‍්‍රචලිතව තිබූ බව ඔහු පෙන්වා දෙනවා. විජයට පෙර යුගයේදී වෛද්‍ය ග‍්‍රන්ථ විදිහට අද ඉතිරිවෙලා තිබෙන්නේ සංස්කෘත බසට පරිවර්තනය වූ රාවණාරජුගේ වෛද්‍ය පුස්ථක පමණයි. භාගශර හා අග්නිශර නමින් හඳුන්වන ගිනිමැල් විහිදුවන හර ප‍්‍රහාර පිළිබඳවත් සඳහන් වනවා. මේවා වර්තමාන මල්වෙඩි වැනි අන්තරාය රහිත ගිනිමල් නොවේ. ගිනි අවියකින් පිටවන ආකාරයේ විනාශකාරී හර ප‍්‍රහාරයක් මේ විදිහට සඳහන් කර තිබෙනවා වෙන්න පුළුවන්.




ප‍්‍රශ්නය: ඔබ ඔය කියන්නේ ”මිසයිල් තාක්ෂණය, බෝම්බ වගේ අවිආයුධ භාවිතා කළා කියලද? එහෙනම් ඒ ගැන පැහැදිලි සාක්කි තිබෙනවාද?
පිළිතුරු : ඔව්. ළිං හැරීමේදී ලග්ගල වැසියන්ට හමුවී තිබෙනවා. මේ ශර යැයි හිතන්න පුළුවන් යම් යම් සාධක. හරියට ඒවා පාර්ලිමේන්තුවේ සෙංකෝලයේ හැඩයට සමානයි. ඉදිරි කොටසේ ගිනිමල් ගබඩා කර තිබූ බව හිතන්න පුළුවන්. මේවා රාවණා යුගයේ අවි විය යුතුයි. එවැනි අවි ඇති සමාජයක තුවාල සඳහාද ප‍්‍රතිකාරද තිබිය යුතුමයි. ලග්ගල, රූමස්සල, සීතාඑළිය, හා හග්ගල ඇති පැරණි ඔසුඋයන්ද රාවණා යුගය දක්වා දිවයනවා. ලග්ගල නොහොත් ඉලක්කගල රාවණාගේ ජ්‍යොතිෂ විද්‍යාවේ අංශක බිංදුවේ අංශකය වූ බව ලග්ගල ගැමියන්ගෙන් අසා දැනගත් බව පෘතුගීසි ජාතික ක්වේරෝස් පියතුමා පවසා තිබෙනවා.


බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩමකළ සමකාලීන අවධියේ (කි‍්‍ර.පූ. 6 සියවස) මධ්‍යම කඳුකරයේ විශාල ඔසු උයනක් තිබුණා යැයි අනුමාන කරන්න පුළුවන්. පුලින්ද, ව්‍යාධ, සබර, මලක්ක, මනුස්ස, උපචරක, වනචරක යනාදි විවිධ නම්වලින් හැඳින්වුණු ආදිවාසී ජනකොටස් මෙම ඔසු උයනේ සේවය ලබාගන්නට ඇති. සමන් දෙවියන්ගේ අඩවියේදී අතරමං වූ ශ්‍රීපාද වන්දනාකරුවන් පළතුරු බහුල වූ වනාන්තරවල දින දෙක තුන ඇවිද අවසානයේ මාර්ගවලට පැමිණි සැටි විස්තර කරන මහළු උපාසක උපාසිකාවන් අදත් හමුවිය හැකිය.



රාවණා රජුගේ දඬුමොණරය / (චිත‍්‍රය - ආයු ශ්‍රී ලංකා වෙබ් අඩවියෙනි)


සතුරන් මහනුවර ආක‍්‍රමණය කළොත් නගරය ගිනි තබා කැලෑවැදී ජීවත්වීමට අවශ්‍ය පළතුරු වනාන්තර වවන ලද්දේ සෙනරත් හා දෙවැනි රාජසිංහ යන සෙංකඩගල රජවරුන් විසිනුයි. 1803 දී නෝත් ආණ්ඩුකාරතුමන් මහනුවර ආක‍්‍රමණය කළ විට සතුරා පරාජය කිරීමට මෙම පළතුරු වාන්න්තර උඩරැටියන්ට මහෝපාකාරී වුණා. මේවා සඳහා ආදර්ශය ලබාගන්නා ලද්දේ මහගිර (සමණොළගිර) හා රකුන්ගිර (රිටිගල) වැනි ඔසුඵල වනාන්තරවලින් බව කියන්න පුළුවන්.


මේ සියල්ල අධ්‍යයනය කළ විට ඔබ මුලින් ආහපු ප‍්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලැබෙනවා. රාවණා රජු සම්පාදනය කළ වෛද්‍ය පුස්ථක තුළින්ම ඒතුමාගේ නිවැරදි පෞර්ෂය අපට හිතාගන්න පුළුවන්. කොහොම වුණත් ඓතිහාසික රාවණා රජු කියන්නේ රාමයාණයෙන් නිරූපිත රාවණා නම් නොවේ.

උපුටා ගැනිම ලංකාදිප පුවත් පත

Comments