ප‍්‍රංශයේ සැරිසරන සිගිරි බළකොටුව

පස්වන සියවසේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයා වූ කාශ්‍යප රජුගේ රාජධානියවූ සීගිරිය බළකොටුව ලොව ප‍්‍රසිද්ධ ඉතා වටිනා පෞරාණික සිද්ධස්ථානයකි. මීටර 350ක් උසැති මහා ගල්පර්වතයක් මත ගොඩ නගා ඇති විස්මිත නිර්මානයත්, ගල් පර්වතයේ බඳවටා හැඩ කළ අජන්තා ගල් ලෙනේ උපත ලද සීගිරි රූ ළදුන් අද මුළු විශ්වයම පුදුමයට පත් කරවීමට සමත්වී ඇත්තේය.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය නොහොත් ජාත්‍යන්තර යුනේස්කෝ සංවිධානය අනුමත කල ලෝක උරුමයන් අතර ඇස් දෙක මෙන් රැකගත යුතු ලොව වටිනා පෞරාණික ස්ථාන අතරින් පෙරමුණේ සිටින ශ්‍රී ලංකාව සතු සීගිරි බලකොටුව පසුගියදා ප‍්‍රංශ තැපැල් ක්‍ෂේත‍්‍රයට මුද්දරයකින් ඇතුල් වුයේය.
සිගිරි ගලේ මුද්දර කථාව ආරම්භ වන්නේ වර්ෂ 1938 දීය. ඉංග‍්‍රීසි පාලනය පැවැති එකල ප‍්‍රධානියා වූ හයවන ජෝර්ජ් රජුගේ රූපය සමග සිගිරි ගල ප‍්‍රථමයෙන් මුද්දරයක පසුබිම සරසමින් සිගිරි ගලේ මුද්දර ජීවිතය ආරම්භ කරයි.
ඉන්පසු 50, 60, 80 දශක වලදී ශ්‍රීලංකාවේදී ද ඉන්දියාව එංගලන්තය, ජපානය ආදි රටවල් මෑත අතීතයේද සිගිරිය බළකොටුව සංකේතවත් කල මුද්දර ලොවට හදුන්වාදී ඇත්තේය. එදා සිලෝන් වල ශත දහයට මිලකළ සිගිරි මුද්දරය අදවන විට යුරෝ ශත 95ක් හෙවත් රුපියල් 170 කට පමන මිලකර ඇත.
බඩුමිල මෙන් සිගිරි මුද්දර මිලද ඉහල ගොස් ඇත්තේය. එම සීගිරිය මෙවර ප‍්‍රංශ මුද්දර පොලට තෝරා ගත්තේය.
සිගිරි බළකොටුවෙන් සැරසූ යුනේස්කෝ ලාංචනය පසුබිමට එක් කළ මිලිමීටර් 40×26 තිරස් හැඩති කුඩා මුද්දරය යුරෝ ශත 95කට මිල කර ඇත්තේය එක්පත් ඉරුවකට මුද්දර 50ක් ලෙස සකස් කොට මුද්දර ලක්ෂ හයක් නොවැම්බර් මස 12 වෙනිදා ප‍්‍රංශ තැපැල් පොලට නිකුත් කළේය. මෙම මුද්දරයේ ඇති ලෝක පූජීත පසුබිමත් එහි නිර්මාන ශිල්පියත් ලොව පිලිගත් විශේෂ එකතුවක්වීම සීගිරි මුද්දරය ප‍්‍රංශයේ මෙන්ම ලෝකයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගත්තේය.
අවුරුදු 69ක් වයැසැති ප‍්‍රංශ ජාතික ජෝන් පෝල් වෙරෙට් ලෙමැරිනියෙර් මෙම සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරයේ නිර්මාණකරුවාය. ප‍්‍රංශ මුද්දර ලෝකයේ මුද්දර පියෙක් ලෙස ප‍්‍රංශ ජනතාවගේ බුහුමනට ලක්වූ ඔහුගේ නිර්මාණයක් වීමී ඉහත මුද්දරයට විශේෂ ස්ථානයක් හිමිවීමට හේතු කාරනා වුයේය.
සැරසීම හා කලා ශිල්ප විද්‍යාව පිලිබඳ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ විද්‍යා පීඨයක්වූ පැරීසියේ එස්තියෙන් විද්‍යා පීඨයේ උසස් අධ්‍යාපනය අවසන් කල ඔහු 1977 දී ප‍්‍රංශයේ තැපැල් හා විදුලි සංදේශ පර්යේෂණ ආයතනයේ සේවයට එක්වුයේය.
ඒ අතර තුර 1984 වසරේ නොවැම්බර් 26 වෙනිදා ඔහුගේ ප‍්‍රථම මුද්දර නිර්මාණය ප‍්‍රංශය එළිදැක්වීය. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙනුවෙන් එම මුද්දරය නිපැයූ ඔහු මේවන විට මුද්දර අටසියයක් පමණ ප‍්‍රංශය ඇතුලත් විදේශ රටවලද ඔහුගේ මුද්දර රාමු වලින් තැපැල් මළු මුද්දර කලාගාරයක් බවට පත්කර ඇත්තේය.
මොසැබික් හා මැඩගස්කාර් රාජ්‍යයන් අතර ඉන්දියානු සාගරයේ පිහිටා ඇති වර්ග කි:මී: 376ක් විශාලැති මායෝට් ලෙස හදුන්වන ප‍්‍රංශයට අයත් සුන්දර දුපතේ මුද්දර හා කලා ශිල්ප විද්‍යාව පිලිබඳ අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස මෑතක් වනතුරු තම නිර්මාණ ලොවට බිහිකරමින් සැඳෑ සමයට පිය නගන ඔහු ; අද නිදහස් නිර්මාණ ශිල්පියෙක් ලෙස ලොවට මුද්දර නිර්මාණ බිහි කරමින් පැරීසියේ තම මුද්දර නිවසේ ජීවත් වන්නේය. මුද්දර ශිල්පයේ පියෙක් ලෙස හදුන්වන මුද්දර පියාගේ මෙවර බිහිවීම ශ්‍රී ලංකාව සතු සිගිරි බළකොටුව වුයේය.
ඔහුගේ ඇගිලි තුඩින් හැඩ ගැන්වූ සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරය ජාත්‍යයන්තර යුනේස්කෝ ලාංඡනය සහිතව ප‍්‍රංශ මුද්දර ලෝකයට එක්වුයේය.
පැරිස් අග නගරයේ පිහිටි ජාත්‍යයන්තර යුනේස්කෝ මුලස්ථානයේදි ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ විශේෂ උත්සවයක් ද ඒ සදහා පැවැත්වුනි. අද ප‍්‍රංශයේ තැපැල් මළු සිගිරි බළකොටු ආරක්ෂාව ඇතිව ලොව වටා සැරිසරති.





Comments