ආදම්ගේ පාලම


28-Page-7-BB     

 

තලේමන්නාරම්තොට ධීවර වරායෙන් නික්මුණු‘ශිවා’ ගේ බෝට්ටුව පියරය පසු කළේය. ඒ සමගම බෝට්ටුවේ වේගය වැඩිවූයෙන් ඉදිරියට එන රැුළිවලට අසුවී බෝට්ටුව ‘පොලා පනින්නට’ පටන් ගත්තේය.

 

එක්වරම උඩ විසිවෙන බෝට්ටුව යළිත් මුහුදු දියමත පතිත වන්නේ ඇසිල්ලකිනි. එහෙත් බෝට්ටුව දෙස බලා ඉන්නවා වෙනුවට කෙමෙන් ඈත්වන තලේමන්නාරම් වෙරළ දෙස බලන්නට මම ප‍්‍රිය කළෙමි.

වෙරළ මායිමට වී අහස දෙස බලා ඉන්නා රූස්ස තල් ගස් තවමත් හොඳින් පෙනෙයි. අපේ බෝට්ටුව යන්නේ ඒ තරමටම ගොඩබිමට කිට්ටුවෙනි.
යකඩ කණු හයකට ඉහළින් සවිකල ලොකු පෙට්ටියක් බඳු ‘යම් කිසිවක්’ වෙරළ මායිමෙන් පෙනෙයි.

‘ලංකාවේ පරණම ප‍්‍රදීපාගාරය’ මම අපේ ‘ඇබා’ට පෙන්නුවෙමි. ඔහු වහාම ඒ දෙසට කැමරාව එල්ල කළේය.

1


යකඩ කුළුණු හයක් මත ඉදිකළ මේ ප‍්‍රථම ප‍්‍රදීපාගාරයේ පහන්සළු දල්වා ඇත්තේ කොප්පරාවලට ගිනි දැල්වීමෙනි. ඒ සඳහා අඩි හතරක තරම් පළලකින් හා උසකින් යුතු යකඩ පෙට්ටියක් අර කී යකඩ කුළුණු හයට සවිකර තිබේ. එම පෙට්ටියේ ඇති සිදුරු තුළින් ගිනිගත් කොප්පරාවලින් නිකුත්වන ආලෝකය දුර සයුරෙහි ගොඩබිමක් සොයා යාත‍්‍රාකරන යාත‍්‍රාවලට මොනවට පෙනෙයි.

ඉංග‍්‍රීසි ආණ්ඩුව අපේ උඩරට, තේ අධිරාජ්‍ය ආරම්භ කිරීමත් සමග තේ වතුවල වැඩකිරීමට අඩුමිල කම්කරුවන් රැුගෙන ආවේ ඉන්දියාවෙනි. මෙසේ පැමිණි බෝට්ටුවලට තලේමන්නාරම් වෙරළ පෙන්වීම සඳහා මේ යකඩ කොප්පරා ප‍්‍රදීපාගාරය පිහිටුවා ඇත. දින වකවානු පවසනවා නම් ඒ 1915 අවුරුද්දේදී පමණය.

ඒ මුල්ම වකවානුවේ තමිල්නාඩුවෙsdgන් දෙමළ වැසියන් වතුකරයට රැුගෙන ගොස් ඇත්තේ, ආදම්ගේ පාලම ඔස්සේ තලේමන්නාරම් තොටට කැඳවා ඒමෙන් ඉක්බිතිවය.

අපේ බෝට්ටුව හැල්මේ යයි. ඌරුමලෙයි යකඩ ප‍්‍රදීපාගාරය කෙමෙන් පුංචි වෙයි.

හේතුව අපි තවත් ටිකක් ආදම්ගේ පාලමට කිට්ටු වෙමින් සිටීමය.

ආදම්ගේ පාලම ඇරඹෙන්නේ ඌරුමලෙයි යකඩ ප‍්‍රදීපාගාරයේ සිට කිලෝ මීටර තුනකට පමණ ඔබ්බෙනි. තලේමන්නාරම් දූපතේ තුඩුවේ කෙළවරෙනි.
එතැනින් පටන්ගන්නා ආදම්ගේ පාලමේ කිලෝ මීටරයක පමණ දුරක් සංචාරකයනට ඇවිද යා හැකිය.

වැලිපරය දිගේ ඉදිරියට ඇවිද යන ඔහුගේ දකුණු අත පැත්තෙනුතේ වම් අතපැත්තෙනුත් දෙපැත්තෙන්ම පෙනෙන්නේ මුහුදය. වම්පස වෙරළට ගියොත් රළ බිඳෙන වියරු මුහුදත් දකුණු පස වෙරළට ගියොත් රළ නොබිඳෙන තරම් සංසුන් නිසල මුහුදත් දැකගත හැකිය.

එයම අරුමයකි.

බෝට්ටුවට නගින්නට පැයකට පමණ කලින් අප සිටියේත් අන්න එතැනය. මම විස්මයට පත්ව මේ සෞන්දර්යය දෙස බලා සිටියෙමි.

වතුරට පෙඟුණු පිටිවැල්ල මඳක් එරෙන සුළු විය. ඒ ඉකුත් රාත‍්‍රියේදී වඩදිය පැමිණි විට මේ ඉසව්ව මුහුදු දියට යටවී පැවතීම නිසා විය යුතුය.

‘හයියෙdhdhhන් අල්ලගන්න’
ශිවා දෙමළට හුරු සිංහලෙන් පැවසුවේය.
මම බෝට්ටු ඇන්ද තදකර අල්ලා ගත්තෙමි.
වේගයෙන් ගිය බෝට්ටුව වැලිපරය දිගේ ඇදී ගොස් එක්වරම නතර විය.
‘බහින්න’
ශිවාගේ විධානය ලැබෙනවාත් සමගම මම බෝට්ටුවෙන් බිමට බැස්සෙමි.
මේ කීවෙනි දූපතද?
මම ශිවා දෙස බැලූවෙමි.

පළවෙනි එක.

මම අපේ ඇබාටත් කලින් දූපත දිගේ දුවන්නට පටන් ගත්තෙමි.

අක්කරයක පමණ ප‍්‍රමාණයකින් යුත් මේ දූපත දුටුවිට මගේ මතකය වැළඳගත්තේ ඉපැරණි නාට්‍යයක නමයි.

‘දෙවියන්ගේ sghපුංචි අක්කරය’

ඇත්තටම මේ දූපතට සුදුසුම නම එය නොවේද?

මම දූපතේ එහා කෙළවරටම දිව ගියෙමි.

වැලිපර දූපතේ මැද සංසුන් විලකි. හැලහොල්මනක් නැති මේ විල රැුයේ පැමිණි වඩදිය විසින් ඉතිරි කර යන ලද මුහුදු වතුරය. එහෙත් එයට විලක් යැයි කියන්නට මම ප‍්‍රියකරමි.

ඒ ‘විල’ මැදින් දිවගිය මම විනාඩි පහකින් හිටියේ දූපතේ පහළ කෙළවරේය.

මන්නාරම් බොක්කේ වියරු රළ ගෙඩි විත් දූපත සිපගන්නා හැටි බලාසිටි මම ඊළඟ මොහොතේත් වියරු රැල්ලෙන් දෙපා දොවාගත්තෙමි.
රැල්ල එන්නේ එකපිට එකය.

මෙතෙක් වේලා අප පැමිණි, මේ වැලිපර දූපතට පය තැබූ පැත්තේ තිබෙන පෝක් සමුද්‍ර සන්ධියේ සංසුන් මුහුද සමග මම මේ වියරු මුහුද සංසන්දනය කරමි.
පිරිමි මුහුද හා ගැහැණු මුහුද! ඇතැම් ධීවරයෙකු මේ මුහුදු තීර දෙක හඳුන්වන්නේ එසේය. ලොකු මුහුද හා පොඩි මුහුද ලෙස තවකෙක් මේ වෙනස දකියි.

පිරිමි මුහුද නැත්තම් ලොකු මුහුද යනු මන්නාරම් බොක්කේ වියරුවූ රළ බිඳෙන මුහුදයි. ඇත්තටම ඒ මුහුද පිරිමියෙකු මෙන්ම හැඩිදැඩිය, සැරපරුෂය.
එතකොට ගැහැණු මුහුද?

සැබැවින්ම අතිශයින්ම මෘදුය. ගමන සංසුන්ය. ලැසි ගමනකි. ධීවරයින්ගේ මේ උපමා මොනතරම් ගැළපෙන්නේ දැයි මම මොහොතකයට කල්පනා කරමි.
කොහේදෝ ගිය කකුළුවෙක් ඉක්මන් ගමනින් පැමිණ උගේ ගුලකට රිංගා ගත්තේය. එකත් එකටම උන්ගේ නිදහස් ලෝකයට මිනිස් ආක‍්‍රමණිකයකු පැමිණි බව දැන ගන්නට ඇත. ඌ සැඟවුණේ ජීවිත ආරක්ෂාව පතාය.

ඒ කකුළුවා රිංගාගත් ගුල හාරා බැලීමේ ආශාවක් මසිත උපනි.

එහෙත් ඒ සමගම මට මතක් වූයේ ‘කකුළු හිමිකම්’ ය. මිනිසාට මානව හිමිකම් සේම කකුළුවන්ට කකුළු හිමිකම්ද තිබිය යුතුය. එනිසා මම ඒ කකුළු නිවෙස පියමංකර තවත් ටිකක් දුරට ඇවිද ගියෙමි.

දෑතින් ඉර මුවාකරගෙන අර දූපතේ ඈත මෑත බැලූ මට පෙනුණේ අප පැමිණි බෝට්ටුවත් අප සමග පැමිණි අපේ නඩයේ උදවියත්ය. ඔවුන් පැළඳ සිටි ‘ලයිෆ් ජැකට්’ නිසා මට ඔවුන් පෙනුනේ පිටසක්වල ජීවීන් ලෙසය.

මිනිස් වාසයෙන් තොර මේ පුංචි දූපත මටනම් පේන්නේ වෙනම ලෝකයක් පරිද්දෙන්මය. මුහුදත්, වැලිත්, හුළඟත් හැරුණුවිට වෙනත් කිසිවක්ම මේ ලෝකයේ නැති පාටය. කකුළුවන්, මුහුදු ලිහිණින්, කැස්බෑවුන්, මුහුදු රාජාලීන් සහ සමනළුන් හැරුණුවිට වෙනත් ජීවියකුද නැති පාටය.

ඉතින් වෙනත් ලෝකයක් සේ මේ දූපත දැනීම අරුමයක්ද?

මට සිහිපත්වන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ග්ය. ඔහු හඳ මත පළමු පියවර තැබූ මොහොතේ ඔහුට දැනෙන්නට ඇත්තේ මෙබඳුම ආගන්තුක හැඟීමකි. හුදෙකලාව, සංතාපය, සංත‍්‍රාසය වැනි බොහෝ හැඟීම් ඔහුට දැනෙන්නට ඇත.

මම වටපිට බලමි.

එක් පසෙකින් තලේමන්නාරම දූපතට සම්බන්ධවුණු වැලිපරයත් අනෙක් පසින් වැලිපර දූපත් මාලාවේ ඊළඟ දූපතත් පෙනෙයි.
 

srgg


ආදම්ගේ පාලම, රාමාගේ පාලම යන නම් මේ පාලමට ලැබුණේ කෙසේදැයි මම සිතමි.

සිතියම් පොත්වලට අනුව නම් මෙය ආදම්ගේ පාලමයි. ලෝකයේ කොහේ හෝ සිට ආදම් සහ ඒව මේ පාලම ඔස්සේ ලංකාවට ආවෝය. ඔවුන් පැමිණි ඔරුව මුහුද මැද දී කැඩුණු බවත් එතැන් පටන් මේ විලිපර දූපත් දිගේ පාගමනින් ලංකාවට පැමිණි බවත් පවතින පුරාවෘත්තයයි.

එදා පටන් ආදම්ගේ පාලම බවට නම් ලද මේ පාලම ඉන්දියානුවන්ට නම් රාමාගේ පාලම වී තිබේ.

ඒ කතාවද කෙටියෙන් හෝ ලියාතැබිය යුතුය.

රාවණ රජ්ජුරුවෝ ඉන්දියාවට ගොස් රාම කුමරුගේ ආදරණීය මෙහෙසිය වූ සීතාව පැහැර ගෙන ලංකා රාජධානියට පැමිණියේය. ඒ පුවත දැනගන්නා රාම කුමරු වානර හමුදාවක්ද සමග ලංකාවට එන්නේය. එහෙත් මේසා විශාල හමුදාවකට ලංකාවට එන්නට පුළුවන්කමක් නැත. ඒ නිසා ඔවුහු ඒ සඳහා පාලමක් හැදුවෝය. ඒ පාලම ඉන්දියාවේ ධනුස්කොඩියත්  ලංකාවේ තලේමන්නාරමත් එකිනෙකට යාකළේය. ගල් වලින් සහ පෙරාළාගත් ගස් කඳන්වලින් සැදූ මේ පාලම ඔස්සේ වානර හමුදාව ලංකාවට ආ බැවින් මෙය එවක් පටන් රාමාගේ පාලම බවට නම් ලැබීම අරුමයක් නොවේ.

අන්න ඒ පාලමට ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළෙන් එන වැලි එකතු වී අද දක්නට ලැබෙන අන්දමේ වැලිපර දූපත් පෙළක් බවට පත්ව තිබේලූ!
මේ වැලිපර දූපත් සමූහය මිනිස් අතින් නිර්මාණය වුණු බවට භූගෝලීය සාක්ෂි තිබෙන බවද කියති. එසේ කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ.
ඉන්දියාවේ භූගෝලීය මැනුම් කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය බද්රි නාරායනන්ය. මේ අදහස ඉදිරිපත් කරන ඔහු එසේ පැවසූයේ ආදම්ගේ පාලමේ වැලිපරවල අඩි දහයක් පමණ ගැඹුරු සිදුරක් හාරා බලා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය.

මෙහි මතුපිට සිට අඩි පහත් අඩි දහයත් අතර භූමි ස්ථරයේ ඝනකම් කළුගල් ආදිය පවතින බව ඔහුගේ සොයාගැනීමයි. එසේ නම් කවදාක හෝ දවසක මිනිසුන් විසින් මේ පාලම ඉදිකරනු ලබන්නට ඇත යන මතය සනාථ වන්නේය. එසේනම් ඉතිහාසයේ කවර හෝ දිනෙක රාමාගේ වානර හමුදාව මේ පාලම ඉදිකළාද? එසේනම් සැබෑවටම මේ රාමගේ පාලමද?

වර්ෂ 1480 දී හටගත් දරුණු සුළි සුළඟකට මේ රාමාගේ පාලම ගොදුරු වූ බවද ඉතිහාසයේ සඳහන්ය. අන්න ඒ සුළිසුළඟට මේ රාමාගේ පාලම කැඞී බිඳී විනාශ වී ගොස් තිබේ.

අද වැලිපරයක් ලෙස පෙනෙන්නේ එදා කැඞී විනාශ වූ පාලමේ සුන්බුන් මතුපිට එකතු වූ වැලිද යන්න විසඳාගත යුතු ප‍්‍රශ්නයකි.

එන්න.
ශිවා අප්පුඩියකුත් ගසමින් මට කතාකරයි.

ඔහු මේ සැරසෙන්නේ පාරාදීසයෙන් සමුගන්නටය.

නමුත් අපේ ගමන තවත් ඉදිරියටම වන බැවින් තවත් පාරාදීස ඉදිරියේදී හමුවන්නේය.

‘බෝට්ටුව තල්ලූ කරන්න’

එන ගමනේදී වේගයෙන් පැමිණ දූපතට පිවිසුනත් දැන් ඔරුව මුහුදට තල්ලූ කරගෙන යායුතුය.
මා බෝට්ටුව මුහුදට අදින්නට වූ අතර අනෙක් අය එය මුහුදට තල්ලූ කළෝය.

මිනිත්තු දෙක තුනකින් යළිත් බෝට්ටුවට නැගගත් අපි වැලිපර දූපත්දිගේ ඉදිරියට යාත‍්‍රා කරන්නට වීමු.

පළමුවැනි වැලිපර දූපතෙන් ඈත්වූ අපි යළිත් මුහුද මැදය. දැන් දූපත පෙනෙන්නේ කිලෝ මීටර භාගයක පමණ දුරිනි.

අපේ ශිවා වරින්වර බෝට්ටුවේ එන්ජිම උස්සමින් බෝට්ටුව ඉදිරියට පදවන්නට වෙහෙසයි. ඒ මේ පෙදෙසේ මුහුද නොගැඹුරු නිසාය.

බැරිම තැන එන්ජිම නතරකළ ඔහු බෝට්ටුවෙන් බැස්සේය. අප බෝට්ටුවේ සිටියදී ඔහු එය ඉදිරියට තල්ලූකරන්නට විය. ඔහුගේ කකුල්වලින් අඩියකට වඩා වැඩි උසක් මුහුදු දියේ නොවීය.

මුහුදු ලිහිණි දහසක පමණ රංචුවක් මුහුද මැද එකට රංචුගැසී සිටියහ. මුහුද මැදට වී ඔවුන් පාවෙනවාද? පීනනවාද? යන්න සිතාගත නොහැකි විය. බැලූ බැල්මට නම් පෙනෙන්නේ ඔවුන් මුහුදු දියේ සිටගෙන සිටින ආකාරයකි. එසේ වූවත් කුරුල්ලකු පොළොව මත වසා සිටින ආකාරයට මුහුදු දිය මත වාඩිවී සිටින්නේ කෙසේද?

‘‘බහින්න’’

බෝට්ටුවේ ශෂි අපටත් කීවේය.

මම බෝට්ටුවෙන් බැස මුහුද මැද සිටගත්තෙමි. හතර පැත්තෙන්ම මුහුද විසින් වටකරගෙන සිටියදී මමත් අනික් අයත් මුහුද මැද සිටගෙන.

විශ්වාස කරන්න මේ මුහුදක් නොවේ. වැල්ලය. මුහුදු දියේ අඟලක් පමණ දක්වාම වැලිය.

මගේ දෙපා පමණක් යම්තමට මුහුදු දියේ ගිලී පවතී.

අපිත් ශෂීට බෝට්ටුව තල්ලූ කරන්නට සහාය වීමු. වතුර නැති නිසා ඔහුට තනිවම බෝට්ටුව තල්ලූ කරන්නට නොහැකිය.

අර ලිහිණි ?නම එකවරම පියඹන්නට වූහ.

ලිහිණින් දහසක් පමණ එක පොදියට එකවරම අහසට නැගෙන හැටි, අත්තටු සලන හැටි, පියාඹන හැටි, බලාසිටින්නට ආසා හිතෙන අන්දමේ අපූරු දර්ශනයකි.

ඒ ලිහිණින් ?නම පියාසැලූවේ වැලිපර දූපත් දිහාවටය.

මම ඔවුන්ගේ ගමනාන්තය දෙස බලා සිටියෙමි. උන් ගියේ දෙවැනි දූපතටය.

අපි යළිත් බෝට්ටුවට නැගුණෙමු. දෙවැනි දූපත වසාගත් කොළපාට ගස් ගොන්න දැන් අපූරුවට පෙනේ.

දෙවැනි දූපතට සංචාරකයන්ට ගොඩ බැසීම තහනම් කරල තියෙන්නේ.

උදේ වරුවේ තලේමන්නාරම් පොලිසියේදී, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ශිරාන් පෙරේරා හමුවූ මොහොතේදී ඔහු පැවසූ කරුණක් මගේ මතකයේ අලූත් විය.
‘ඇයි ඒ’?

මම විමසුවෙමි.

”දෙවැනි දූපත වෙන්කරල තියෙන්නේ මුහුදු ලිහිණින්ට. උන් බිත්තර දමන්න තෝරගෙන තියෙන්නේ දෙවෙනි දූපතයි.”

දෙවෙනි දූපත බැලූ බැල්මට විවිධ තෘණ වර්ග සහ ලවණවලට ඔරොත්තු දෙන වෙරළ පැලෑටිවලින් සමන්විත බව පෙනෙයි.

මේ තෘණ වර්ග අතර මුහුදු ලිහිණින්ට කැදැලි තනාගැනීමටත් උන්ගේ බිත්තර දැමීමටත් පහසුකම් තිබේ. ඒ නිසාම උන් තම පරපුර බිහිකරන කුරුලූ ජනපදය මේ ¥පතේ ඉදිකරගෙන තිබේ.

මුහුදු රාජාලියෙක් දෙවැනි දූපතේ සිට අහසට නැගුණි.

මේ මුහුදු රාජාලියා මේ දූපත ඇසුරෙහි කල්ගෙවන්නේ ලිහිණි පැටවුන් උගේ ප‍්‍රියතම ගොදුරක් වන නිසා විය යුතුයි. ලිහිණි පැටවුන් හැදෙන කාලයට මේ මුහුදු රාජාලි කෙසේ හෝ ඒ පැටියෙක් ගොදුරු කරගෙන තම පැටවුන්ට ‘මස්’ වේලක් දෙනවා සිකුරුය.

‘ඔය ලිහිණි බිත්තර බේතට ගන්නවලූ. ඒ නිසා මේ බිත්තර හරි ගණන්. ලිහිණි කිරිල්ලියො බිත්තර දාන කාලෙට මිනිස්සු කොහොම හරි මේ දූපතට ඇවිත් බිත්තර ගන්න වෙහෙසෙනවලූ.’

ශිරාන් පෙරේරා කී කතාවක් මම යළිත් ලියා තබමි.

හැබැයි දැන් මේ දූපතට ඇතුලූවීම සපුරා තහනම් නිසා ලිහිණින්ගේ ලිහිණි හිමිකම් මොනවට ඉටුවේ.

යම්කිසිවෙක් ලිහිණි බිත්තර සමග අසුවුවහොත් ඔහුට නවතින්නට වෙන්නේ නීතිය ඉදිරිපිටය.
ලබන සතියට..............


විශේෂ ස්තූතිය මන්නාරම ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අලහකෝන් මහතාට.  
 

m

Comments

Post a Comment