උඩමලල වැව ළඟ සැතපෙන අන්දරේ

උඩමලල වැව ළඟ සැතපෙන අන්දරේ
:    05-page6-S2-6   
 
රාත‍්‍රිය බෙහෙවින්ම සීතලය. මාළිගය අසල වූයේ වනාන්තරය බැවින් ඒ වනපෙත සිපගෙන හමා එන සුළෙඟහි සීතල මුසුව තිබිණි.
රජතෙමේ සිය ආදරණීය බිසවගේ තුරුල්ලට වැදුණේ ඒ සීතල උණුසුමකින් පරදවා, පලවා හරිනු පිණිසය.

 
05-page6-S2-8 05-page6-S2-9
රාජ ද්‍රෝහී ගෙම්බා බක බක ගාන්නට පටන් ගත්තේ ඒ මොහොතෙහිමය.

හරියටම කනේ තියා කෑ ගහන්නාක් මෙන් ඇහෙන මේ අමිහිරි නාදය රජතුමාගේ පිළිකුලට ලක්වූවකි.

ඔය ගෙම්බා මරා දමව්.

රජු තම නියෝගය නිකුත් කළේ මේ ගෙම්බා බක බක ගාන්න පටන් ගත් පළමු දවසේ දීමය. එහෙත් සතුරන් සොයා විනාශ කරදමන්නට සමත්කම් ඇති තම හමුදාවේ කිසිවෙකුටත් මඟුල් පොකුණේ බලහත්කාරයෙන් ලැග සිටින මේ ගෙම්බා සොයා මරා දැමීම උගහට විය.

‘‘මේ ගෙම්බා මරා දාන්න පුළුවන් කෙනෙක් හොයන්න වහාම අඬ බෙරයක් පිටත් කරව්.’’ 

සිරියහන් ගබඩාවෙන් එළියට පැමිණි රජු තම පුරෝහිතයාට අණ කළේය.

බිසව තම කන් දෙකේම ඇඟිලි ගසාගෙන ගෙම්බාගේ ඝෝෂාකාරී නාදයෙන් තම දෙසවන බේරා ගැනීමට උත්සාහ කළාය.

අපි හෙට උදෙන්ම පේරාදෙණියෙ මාලිගයට යමු.

රජු තම බිසවට කීවේ වෙන කරන්නට දෙයක් නොවූ නිසාය.

පසුදාම අඬබෙරකරුවෝ රට පුරා ගමන් ඇරඹූහ. උඩරට රාජධානියට අයත් හැම අස්සක් මුල්ලක් පාසාම පැතිරීගිය මේ පණිවිඩය සමහරෙකුට විහිළුවක් විය.

රජ මාලිගයේ මඟුල් පොකුණෙහි ගෙම්බා මරා දමන්නට සමතෙක් සොයන මේ පණිවිඩය කනට වැටුණු විගස අන්දරේ අඬබෙරකරුවා නතර කළේය.

‘‘මට පුළුවනි ගෙම්බව මරන්න’’

ඔහු කීවේය.

අඬබෙරකරුවා මේ විසුළු පෙනුමැති මිනිසාත් සමඟ රජ මාලිගයට යන්නට පිටත් විය. 

මේ මිනිසා වෙනින් කවුරුවත් නොවේ, අන්දරේය.

රජ මැදුරට ගිය ඔහු මඟුල් පොකුණ අසලට ගොස් ගෙම්බා කෑගසන තෙක් බලාසිටියේය.

රාත‍්‍රිය එළඹිණි. අන්ධකාරය මඟුල් පොකුණ වසාගත්තේය. ගෙම්බා බක බක ගාමින් රැප් සිංදුව පටන් ගත්තේය.
 
05-page6-S2-7
 

රාජ ද්‍රෝහියා දැන් උඹේ ගායනය අවසානයි. අන්දරේ එසේ කියා ඔහුගේ දුන්න සූදානම් කරගත්තේය.

බක බක ශබ්දයට හරියටම ඊතලය එල්ල කළ අන්දරේ ඊතලය මුදා හැරියේය. බක බකය නැවතිණි. පසුදා උදෑසනින්ම පේරාදෙණියේ රජ මැදුරට ගිය රාජ පුරුෂයෝ රජුගේ නින්දට බාධා කළ රාජ ද්‍රෝහියාට මරණ දඬුවම ලැබුණ බව දැනුම් දුන්හ.

‘‘ඒ කෙසේද? කවුරුන් විසින්ද?’’

රජතුමා විමසුවේය.

‘‘පස්වාන් දහසකට බුදුවෙන්ඩ රජතුමනි. අන්දරේ නම් විසුළු පෙනුමැති ගැමියෙක් ගෙම්බාගේ බක බක හඬ පැමිණි දෙසට ඊතලයක් විද රාජ ද්‍රෝහියා මරා දැමුවේය.’’

රාජ පුරුෂයෝ කීහ.

රජුට පුදුම සිතිණි.

සද්දයට ඊතලයකින් විද්ද මොහු නම් අරුම පුදුම දුනුවායෙකි.

රජතුමා තම බිසවත් සමඟම ආපසු මහනුවර රජ මාලිගයට ගියේය. වහාම අන්දරේ තමන් වෙත කැඳවූයේය.

මේ විසළු පෙනුමැති මිනිසා රජතුමා වෙත පැමිණියේ රජුගේත් බිසවගේත් මුහුණු මත සිනාවක්ද රඳවමිනි.

‘‘පස්වාන් දහසකට බුදුවෙන්ඩ රජතුමනි...’’

අන්දරේ රජතුමා අබියස මුනින් වැටුණේය.

‘‘මඟුල් පොකුණේ සැඟවී සිටි ගෙම්බා ඔබ සොයාගත්තේ කෙසේද?’’

රජතුමා විමසුවේය.

‘‘අද උදේ උගේ මළසිරුර පොකුණු දිය මත පාවෙමින් තිබී රාජපුරුෂයන් විසින් සොයාගනු ලැබුවා.’’
 
05-page6-S2-2
 

අන්දරේ උත්තර දුන්නේය.

‘‘ඌ පොකුණේ සැඟව සිටියේ කොහේද?’’

‘‘අවසර රජතුමනි, එය දන්නේ මේ රාජද්‍රෝහියා පමණක්මය...’’

”එසේනම් ඔබ කොහොමද ඒ රාජ ද්‍රෝහියා මරා දැමුවේ.’’

උගේ හඬ ආ දෙසට ඉලක්ක කර ඊ හිසක් මුදා හැරියා... එවිටම ඒ රාජ ද්‍රෝහියාගේ ගොරහැඬි බක බකය නතර වුණා රජතුමනි.

රජතුමා අතිශය සතුටට පත්විය.

ඒ මොහොතෙහිම ‘‘සද්ද විද්ද පළඟ පතිර’’ නම් ගෞරව නාමයෙන් අන්දරේ පුදන්නට රජතුමා කටයුතු කළේය.

මේ රජ වාසලේ ඉන්න කවටයන්ට වඩා මේ අන්දරේ හොඳ විහිළු කාරයෙක් වගේ. ඔහුගේ කියමන් වලින් මා සතුටට පත්වුණා. මේ  මොහොතේ පටන් රජ වාසල කවටයා තනතුරට මං අන්දරේව පත් කරනවා.

රජතුමා පැවසුවේය.
05-page6-S2-5
 
අන්දරේ ගෙම්බෙකු මෙන් උඩ පැන්නේ, රජතුමා සිනා සයුරේ ගිල්වමිනි...

එතැන් පටන් රජවාසල කවටයා වූ අන්දරේට තම දරුපවුලත් සමඟ රජ වාසල අවටින් පදිංචි වීමට නිවෙසක්ද ලැබිණි. අන්දරේ ඉතාමත්ම ප‍්‍රීතියෙන් රජතුමාට සහ රජ බිසවටද විහිළු තහළු කරමින් සතුටින් ජීවත් වූවේය.

මේ යුගය පුරාවට අන්දරේ කළ විහිළු වලින් අපේ ජන සාහිත්‍යය පිරී තිබේ. ඉන් එකක් දෙකක් වත් අන්දරේට උපහාර පිණිස හෝ ලියා තැබීම යුතුමය.
වප් මඟුල සූදානම්ය.

මේ වප්මඟුල සඳහා හරකුන් කැඳවිය යුතුය..

රජු දෙවරක් නොසිතා මේ කටයුත්ත පැවරුවේ තම විහිළුකාරයාටය.

‘‘අන්දරේ, වප් මඟුල ලබන සෙනසුරාදා රුක්ගහ වෙලේදි පවත්වන්නෙ.. ගිහිල්ලා හරකුන්ට කියනවා වප්මඟුලට එන්න කියලා.’’

‘‘එහෙමයි දේවයන් වහන්ස, හරක් කී දෙනෙකුට කිව්වහම ඇද්ද?’’

”බාන් දහයකට’’

රජු පැවසුවේය.

අන්දරේ ඒ මොහොතේම රජ මාළිගයෙන් නික්ම හරකුන් සිටින තැනකට ගියේය. ඔහු හරකුන් විසිදෙනෙකුට වප් මඟුලට පැමිණෙන්නැයි දැනුම් දුන්නේය.
නියමිත දිනට වප්මඟුල සූදානම් කෙරිණි. හැම අවුරුද්දකම වාගේ උත්සවශ්‍රීයෙන් කෙරෙන මේ වප්මඟුල ඇත්තෙන්ම රාජකීය උත්සවයකි. කිරිබත් කැවුම් උයා පිහාගෙන පැමිණෙන ගොවි රජවරුන්ට සංග‍්‍රහ කිරීමටද සූදානම්ය.

එහෙත් එකදු හරක් බානක්වත් වප් මඟුලට පැමිණියේ නැත.

රජු උදහසට පත්විය. රාජ නියෝගයට පිටු පෑමට කිසිවෙකුටත් අවසරයක් නැත.

”අන්දරේ...’’

රජු කෝපයෙන් යුතුව අන්දරේට ආමන්ත‍්‍රණය කළේය.

‘‘අවසර දේවයන් වහන්ස,’’

හිස පැළඳි ජටාවද ගලවා ගෙන අන්දරේ රජු පාමුල දනින් වැටුනේය.

වප් මඟුලට එන්න කියලා කී දෙනෙකුට කිව්වද?

රජු ඇසුවේය.

‘‘විස්සකට දේවයන් වහන්ස.’’

‘‘එතකොට එන්න පොරොන්දු වුනාද?’’

‘‘අපොයි ඔව් රජතුමනි, හැමෝම එන්න පොරොන්දු වුණා’’

‘‘කෝ ඉතින් තාම කවුරුවත් ආවෙ නැහැ... වහාම ඒ ගොවියන් මෙතනට කැඳවා ගෙන එනු...’’

‘‘ගොවියන්.... මොන ගොවියන්ද රජතුමනි.’’

‘‘හරකුන් හිමි ගොවියන්...’’
 
05-page6-S2-3
 

‘‘මම ඒ ගොවියන් දන්නේ නෑ රජතුමනි.’’

එහෙනම් දැන් කිව්වයි කිව්වෙ...

මම කිව්වෙ හරකුන්ටයි. ඒ හැම හරකෙක්ම හිස වනා වලිගය වනා රාජ නියෝගය පිළිගත්තා රජතුමනි.

අන්දරේ කීවේ හිස ද කසමිනි. පසෙක සිටි රජ බිසොව හිකි හිකි ගා හිනාවෙන්නට වූවාය. උදහස් වූ රජුගේ මුහුණටද හිනාවක් මතුවූයේය.

හරිනෙ මම කිව්වෙ හරකුන්ට කියන්න කියලනෙ...

රජු ද තමන්ටම කියාගනිමින් යන්නට ගියේය...

එදා වප් මඟුල් උත්සවය කෙරුණේ නැත.

තවත් වතාවක් රජ බිසවට දොළ දුක් ඇතිවිය. ඇයට කන්නට හිතුණේ තිත්තයන් මැල්ලූමකි. එහෙත් මේ ආශාව රජතුමාට කියන්නට බියවූ රජ බිසව එය කීවේ අන්දරේටය.

‘‘හොඳයි මම හෙට උදේට බිසවුන්නාන්සෙට තිත්තයන් මැල්ලූමකුයි බතුයි ලැබෙන්න සලස්වන්නම් කො.’’

අන්දරේ කීවේය.

ඉනික්බිති ඔහු කළේ ගෙවල් ගණනාවකට ගොස් තිත්තයන් මැල්ලූම් සහ බත් කද බැගින් රජ මාලිගයට රැගෙන එන ලෙස රජ අණක් නිකුත්කර ඇති බව පැවසීමය.

සියළු දෙනා රජ අණට අවනත වූහ. ඔවුන් තිත්තයින් මැල්ලූම් සහ බත් කද බැගින් ගෙන රජ මාලිගයට ගියෝය.

‘‘මේ මොකද මේ,’’ 

රජතුමා පුදුමයෙන් ප‍්‍රශ්න කළේය. 

‘‘අවසර දේවයන් වහන්ස බිසවුන් වහන්සේට කන්න හිතිලා.’’ 

අන්දරේ උත්තර දුන්නේය.

ඔහුගේ විහිළුවට බිසවුන්වහන්සේට ලැජ්ජා හිතුනත් රජතුමාට නම් විනෝද වීමට කරුණක් විය.

අන්දරේගේ විහිළු වැඩ තවත් බොහොමයකි. එහෙත් ඔහු කළ ලොකුම විහිළුව වූයේ ඔහුගේ මරණයයි.
 
05-page6-S2-4
 

වතාවක් හොඳටම රෝගී වූ ඔහු රජුගෙන් අවසරගෙන තම ගමට යන්නට පිටත් විය. ඔහුට අවශ්‍ය වූයේ රජෙකු මෙන් ගරු බුහුමන් මැදින් මේ ගමන යන්නටය.

එසේ යද්දී අධික පිපාසයක් දැනුනු ඔහු දෝලාවෙන් බිමට බැස්සේය. එතන උඩමලල වැව අසල වූ තැනකි. වැවට ගොස් වතුර බිව් ඔහුට මොකක්දෝ ලොකු අමාරුවක් දැනුණි. අන්දරේ කළේ අත පය සතර පැත්තට විහිදාගෙන වැතිරීමය. එසේ සිටම අවසන් කවිය කිව්වේය.
 
රිදී කළේ රන් කොතලේ බීපු     මට
නිකං කළේ දිය නැතිවිය     පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබූ     මට
මෙහෙමත් කල යාද පලූ වීර ගස්     යට
 
එසේ කී ඔහු මිය ඇදුණේය. තම කවටයාගේ මරණය ඇසූ රාජාධි රාජසිංහ රජු වහාම උඩමලලට ගියේය.
 
‘‘මේ මනුස්සයා මැරිලත් මාව හිනස්සනවා. බලනවා අතයි කකුලූයි හතර පැත්තට විහිදුවා ගෙන මැරිලා ඉන්න හැටි’’

රජතුමා අන්දරේ මැරී සිටි ආකාරය දැක පැවසුවේය.

අන්දරේ මැරී සිටි ආකාරය පෙන්වන මූර්තියක්, ඔහු මැරී සිටි හම්බන්තොටට නොදුරු උඩමලල වැව අබියස අද ඉදිකර තිබේ.

එහෙත් එහිද අතක කොටසක් කැඞී බිදී ගොස් තිබෙන්නේ නරඹන්නාගේ නෙත් වල පුංචි කඳුලක් උපද්දවමිනි.
m

Comments