සිංහල සිනමාවේ සරාගී චිත්‍රපට


   IMG_398    
සැඩසුළං - සිප ගැනීම් දර්ශන කතුරෙන් බේරෙයි 
 
 
මෙරට තිරගත වෙන ඇමෙරිකානු හොලිවුඞ් අසභ්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය තහනම් කරන ලෙස ඉල්ලා “මහා පෙත්සමක්” සකස් කිරීමට 1954 සැප්තැම්බර් මාසයේ “ලංකාදීප” පුවත්පත පුරෝගාමී වී ඇත. “ලංකාදීප” පත්‍රයේ සිනමාව ගැන පළවෙන “චිත්‍රපට චක්‍රය” අතිරේකයෙන් මේ කාර්යයට මුලපුරන ලදී. එවකට මේ අතිරේකය සකස් කළේ කරුණාසේන ජයලත් විසින්ය. ඒ සඳහා ලාංකිකයන් දැක් වූ විරෝධතාව ගැන හා එම පෙත්සම ගැන “චිත්‍රපට චක්‍රය” අතිරේකයේ (ලංකාදීප 1954 සැප්තැම්බර් 15 දා) මෙසේ පළ වී තිබුණි.
IMG_396
“අසභ්‍ය චිත්‍රපට මෙරට පෙන්වීම තහනම් කරන මෙන් ඉල්ලා සිටි සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය නියෝජනය කළ 12,000ක පිරිසක් අත්සන් තැබූ පෙත්සමක්, එවකට අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මැතිතුමාට පිළිගැන්වීම සඳහා විපක්ෂ නායක එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාට භාර කොට තිබේ. චිත්‍රපට පරීක්ෂණ මඬුල්ල තුළ සියලු ආගමිකයන් නියෝජනය විය යුතු යැයි ද ඔවුහු මෙමගින් ඉල්ලා සිටියහ.
පුද්ගලයින් 12,000ක් අත්සන් කළ පෙත්සම ලොකු පොතේ (ඇල්බමයේ) පිටකවරයේ දූෂිත ඇමෙරිකානු චිත්‍රපට විරෝධී මහා පෙත්සම යැයි සඳහන්ව ඇති ඡායාරූපයක් ද ලංකාදීපයේ පළ වී තිබුණි.

ලංකාවේ චිත්‍රපට පරීක්ෂක මණ්ඩලය අරඹා ඇත්තේ 1912 වසරේදීය. එයට මූලිකව බලපෑ කරුණ වූයේ 1911 ලංකාවේ ප්‍රදර්ශනය වූ මුල්ම යුරෝපීය චිත්‍රපටත් සමගය. විදේශීය චිත්‍රපටවලින් අපේ රටේ පවතින සාරධර්මවලට, සිංහල සංස්කෘතියට හානියක් සිදුවේ යැයි එකල සිටි වියතුන් හා ප්‍රභූ පන්ති සිතූහ. ඔවුන්ගේ ඉල්ලීම මත 1912 චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයක් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පත් කරන ලදී. මුලදී වේදිකා නාට්‍යයක්, මැජික් දර්ශනයක් මහජනතාවට පෙන්වීමට පෙර අවසර ලබා ගත් ක්‍රමයක් විය. ප්‍රදර්ශනයට නියමිත විදේශීය චිත්‍රපටවල කතා සාරාංශය හා එහි අන්තර්ගතය ගැන ප්‍රදර්ශක සමාගම් ලබා දෙන ප්‍රකාශය කියවා බලා අනුමැතිය ලබා දුන් මේ පරීක්ෂක මණ්ඩලය චිත්‍රපට බලා ඒ ගැන තීරණයක් ලබා දීම අරඹා ඇත්තේ 1918 වසරේ සිටය.

ලංකාවේ මුලින්ම මහජන ප්‍රදර්ශනය තහනම් කළ විදේශ චිත්‍රපටය වූයේ “ප්‍රේම් සන්යාස්” හෙවත් “ලයිට් ඔෆ් ඒෂියා” (ආසියාවේ ආලෝකය) නම් නිශ්ශබ්ද චිත්‍රපටයයි. එහි පමණටත් වඩා නළු නිළියන්ගේ සිප වැලඳ ගැනීම් ද, අඩ නිරුවත් රුඟුම් ද තිබූ බව පැවසේ. මේ චිත්‍රපටය මදාන් චිත්‍රපටි සමාගම ලංකාවේ දී පෙන්වීමට කටයුතු සූදානම් කරන ලද නමුත් එහි පූර්ව දර්ශනයක් බෞද්ධ නායක සර් ඩී.බී. ජයතිලක මහතා ප්‍රමුඛ පරීක්ෂක මණ්ඩලයක් විසින් එය මෙරට පෙන්වීම තහනම් කළ බව ඩී.වී. සෙනෙවිරත්න විසින් ලියන ලද “චිත්‍රපට කලාව” නම් කෘතියේ සඳහන් වෙයි. ලංකාවේ මුල්වරට ප්‍රදර්ශනය තහනම් කළ චිත්‍රපටය මෙය වෙයි. මේ චිත්‍රපටයේ ගෞතම බුද්ධ චරිතය හිමන්සු රායි ද, ගෞතම බුද්ධගේ මිතුරිය ලෙස ද, සිදුහත් කුමරුගේ බිරිඳ යසෝධරා දේවිය ලෙස  ද රෙනේ ස්මිත්, නොහොත් සීතා දේවී ද රඟපෑහ.
IMG_401
වැඩිහිටියන්ට පමණක් සීමා වූ සුබ සරණ සැප සිතේ චිත්‍රපටයේ දර්ශනයක් 
 

1930 දශකයේ සිංහල වේදිකා නාට්‍යවල ගැහැනු චරිත රඟපා ඇත්තේ පිරිමින්ය. කඩවසම් නළුවකු නිළියක ලෙස නාට්‍යයක පෙනී සිටීම අරුමයක් නොවේද? මිනර්වා නාට්‍යයක් වූ ‘භයානක පොරොන්දුවේ’ එඩී ජයමාන්න රඟපා ඇත්තේ ද ගැහැනු චරිතයකි. එඩී සමඟ එදා ගැහැනු චරිත රඟපෑ නළුවන් අතර එම්. ජෝන් පෙරේරා, එම්.ඩබ්ලිව්. ෆොන්සේකා ද කැපී පෙනී ඇත. එකල කාන්තාවන් වේදිකාවේ රඟපෑම සමාජ සම්මතයට පටහැණි කරුණක් විය. කතෝලික කාන්තාවක් වූ රුක්මණී දේවි එකල වේදිකාවේ නිල චරිතයකට තෝරා ගැනීම එක්තරා අන්දමක අභියෝගයකි. මුල්වරට සිංහල වේදිකා නාට්‍යයක රඟපෑ නිළිය ආනා කන්නන්ගරයි. 1885 වසරේ සී. දොන් බස්තියන්ගේ “රොම්ලින්” නාටකයේ ඇය ප්‍රධාන චරිතය රඟපෑවාය.
IMG_399
ශ්‍රී ලාංකේය ප්‍රථම නිහඬ චිත්‍රපටය වූ 1925 වසරේ නිෂ්පාදනය කළ ‘රාජකීය වික්‍රමය’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට තෝරා ගෙන ඇත්තේ සිංහල කාන්තාවක් නොව බර්ගර් නිළියක වන සිබිල් ෆීම් වන අතර එහි ප්‍රධාන නළුවා ලෙස රඟපෑවේ ආචාර්ය එන්.ඇම්. පෙරේරා බව පසු කලෙක කී බව ආතර් යූ. අමරසේන විසින් ලියූ ‘සිංහල සිනමා වංශය’ කෘතියේ සඳහන් වෙයි. ප්‍රථම ලාංකේය කතානාද චිත්‍රපටය වූ “කඩවුණු පොරොන්දුව”හි රුක්මණී දේවි රඟපෑ රංජනී මෙන්ම, මල්ලිකා (කපටි ආරක්ෂකයා), ස්වර්ණ (වැරදුණු කුරුමානම), සුනීතා (පෙරළෙන ඉරණම), කාන්ති (උමතු විශ්වාසය) චරිත මගින් ප්‍රේක්ෂකයා ලංකාවේ ස්ත්‍රීය නම් මෙසේ යයි චිත්‍රයක් මවා ගෙන සිටි බව සිනමා විචාරක ගාමිණී විජේතුංග පෙන්වා දෙයි. ‘සිනෙසිත්’ (අංක 39/40) ලිපියක් ලියන ඔහු මෙසේද පවසා ඇත.

මේ අනුව බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ චිත්‍රපට තුළ රුක්මණී දේවි යනු කිසිම ලිංගික සතුටක් නොපෙන්වන, පිරිමින්ගේ අනේකවිධ දුක් කරදරවල ගොදුරක් ය යනුවෙන් අධ්‍යක්ෂවරයා ඉදිරිපත්  කරන ආඛ්‍යානය ප්‍රේක්ෂකයාට පිළිගැනීමට සිදු වේ. ඊට යටින් ඇත්තේ එනම් රුක්මණීගේ ශරීරයෙහි සුන්දරත්වය, ස්ත්‍රියක් හැටියට ඈ තුළ දකින සරාගිත්වය නිසා ලැබෙන සතුට තවත් සංවාද තලයක් යටි හිතේ ගොඩනැගීමයි. නමුත් මේ සංවාද තලය මර්දනයට හසු වේ. හේතුව අධ්‍යක්ෂවරයා ස්ත්‍රී ශරීරය, ස්ත්‍රීන්ගේ ජීවිතය ගැන එන සංවාදය පිළිගත යුතු වන්නේ ඔහු තමන්ට වඩා ජීවිතය ගැන ගැඹුරු අවබෝධයක් ඇති උසස් කලාකරුවකුය යන අදහස ප්‍රේක්ෂක සිත් තුළ මුල් බැස තිබෙන හෙයිනි. දෙවැනි හේතුව, බාහිර සමාජයේ ස්ත්‍රී ශරීර හා ලිංගිකත්වය කුහක වික්ටෝරියානු ආචාරධර්ම මගින් දැඩි ලෙස පාලනය කර තිබීමයි. 
IMG_400
ලංකාවේ තහනම් කළ මුල්ම විදේශ චිත්‍රපටය ‘ප්‍රේම් සන්යාස්’
 

1953 තිර ගත වූ ටී. සුන්දරම් අධ්‍යක්ෂණය කළ “සුජාතා” චිත්‍රපටියෙන් තරු සංකල්පය හා සරාගී ස්ත්‍රීත්වය සිංහල සිනමාවට හඳුන්වා දෙන ලදී. මේ චිත්‍රපටයේ ශාන්ති ලේඛා රඟපෑ ප්‍රේමා නම් සරසවි ශිෂ්‍යාවකගේ චරිතය එකල මහත් ආන්දෝලනයකට ලක් විය. ඇය විකී නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සමග නාන ඇඳුමින් සැරසී ගැයූ මේ ගීතය අතිශයින්ම ජනප්‍රිය විය. IMG_395

“පෙම් රැල්ල නගී ගල් තල්ලේ වදී
මේ සුන්දර සන්ධ්‍යාවේ
පෙම් දියෙන් තෙමී
ගල ඔපය වැටී පෙන්වයි ආලේ මහිමේ” 


කලකට ඉහත ශාන්ති ලේඛා “සුජාතා” චිත්‍රපටයේ තමා රඟපෑ චරිතය ගැන මෙම ලියුම්කරුට මෙසේ විස්තර කළාය. 

මම හා පුරා කියා “සුජාතා” චිත්‍රපටයේ රඟපෑවේ 1952 වසරේ දෙසැම්බර් මාසේ. එතකොට මට වයස 23 යි. මේ චිත්‍රපටයේ සුජාතාගේ චරිතයට තෝරා ගෙන හිටියේ අසෝක මාලා ද සිල්වා. මගේ චරිතයට සිරිමතී රසාදරි කෙසේ හෝ මේ චරිත දෙකට ප්ලෝරිඩා ජයලත් හා මාවත් තෝරා ගත්තා. ඊට කලින් ඩී.ටී. ප්‍රනාන්දුගේ “ශාන්ත ප්‍රභා” සහ විල්ප්‍රඞ් ගුණසේකරගේ (චිත්‍රපට නළු පියදාස ගුණසේකරගේ සොහොයුරා) වේදිකා නාට්‍යයකත් රඟපා තිබුණා. “සුජාතා” චිත්‍රපටයේ දඟකාර චරිතයට මාව තෝරා ගත්ත කිව්වාම පුදුම වුණා. හැම අභියෝගයකට මුහුණ දෙන්න මම සූදානම් වුණා. නාන ඇඳුම පිටින් සිංහල චිත්‍රපටයක රඟපෑ මුල්ම නිළිය මම. මේ චිත්‍රපටයේ මම මුලින්ම කැමරාවට මුහුණ දුන්නේ නාන ඇඳුම පිටින් කොටුවේ ගෝල්ෆේස් එකේ බ්‍රේක් වෝටර් එක ළඟ මුහුදු වෙරළේ ගීතයක් ගයමින්. 

“මේ සුමධුර වේ
සුපිරිසිදු වේ අපේ ආලේ
රම්‍ය යෞවන ප්‍රේමේ
දහ දුක දීලා මට පිටි පාලා
නොයන්න මා හැර දා
ප්‍රේම විමානේ ප්‍රේම තොටිල්ලේ
ඔබ වේ ප්‍රේම රජා
ඔබ වේ මගේ කිරීටේ
රම්‍ය යෞවන ප්‍රේමේ
සුමධුර වේ.” 

 

රාත්‍රී සමාජ ශාලා දර්ශනයක් මුල් වරට ඇතුළත් වුයේ ද “සුජාතා” චිත්‍රපටයෙන් වුවද පරීක්ෂක මණ්ඩලයෙන් ඒ සඳහා වාරණයක් නොපැනවිණි.
සිංහල සිනමාවේ පරමාදර්ශී ස්ත්‍රීත්වය (ෂාැ්ක උදප්බයදදා) සංකේතවත් කළ රුක්මණී දේවි 1953 වසරේ තිරගත වූ “කැලෑ හඳ” චිත්‍රපටයේ රඟ පෑ එක් දර්ශනයක් ගැන චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයේ අවධානය යොමු වූ ප්‍රථම අවස්ථාව ලෙස සඳහන් වෙයි. චිත්‍රපටයේ මාලිනිට (රුක්මණී දේවි) හා නන්දසීයාට (බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න) පොලිස් භටයකු පහර දෙන දර්ශන දැකීමෙන් රුක්මණීට ඇලුම් කළ සිනමා රසික රසිකාවියන්, ඇයට පොලිසියෙන් වෙන හිරිහැර ගැන ද අප්‍රසාදය පළ කළ අතර පොලිසිය පැත්තෙන් තමන් සරදමට ලක් කර ඇතැයි ද උද්ඝෝෂණයක් කර ඇත. 
IMG_397
 

කැලෑ හඳ පොලිසිය කුලප්පු කරයි. රාළහාමි කළ හිරිහැර හරි නෑ. 

මෙය “ඉරිදා ලංකාදීප” පත්‍රයේ (1953 ජුනි 07 වෙනිදා) මුල් පිටුවේ ශීර්ෂ පාඨය විය. වාර්තාව ලියා තිබුණේ ඉරිදා ලංකාදීප විශේෂ වාර්තාකරු (කරුණාසේන ජයලත්) පවසා ඇති අන්දමට අනුව පොලිසිය ද මේ පුවතින් කුලප්පු වී ඇත. වාර්තාකරු මෙසේද කියා තිබුණි. 

නිර්දෝෂි කාන්තාවක් මාලිනි (රුක්මණී දේවි) නිරාපරාදේ ඇද ගෙන ගොස් හිරිහැර කරන පොලිස් කොස්තාපල් කෙනෙකුගේ අශිෂ්ට ක්‍රියාවක් මේ ජවනිකාවේ දැක්වේ. ජෝන් ජයපාල (මාලනීගේ පෙම්වතා) මෙතැනට පැමිණ පොලිස් කොස්තාපල්ට පහර දී මාලනී ගලවා ගැනීමෙන් මේ දර්ශනය අවසන් වේ.

 මේ දර්ශනයෙන් පොලිසියට අපහාස වෙන බව කියන පිරිසක් මේ දර්ශනය චිත්‍රපටයෙන් ඉවත් කරන ලෙස පොලිස් ඉන්ස්පැක්ටර් ජනරාල්වරයාට පැමිණිලි කර තිබුණි. මේ පිළිබඳව අදහස් දක්වමින් “කැලෑ හඳ” නවකතාව ලියූ ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා පවසා ඇත්තේ තමාගේ නවකතාවේ එන්නේ වර්තමාන පොලිස් භටයකුගේ තරාතිරම නොව මෙයට විසි වසරකට පෙර (1933) එනම් නවකතාව ලියූ වසරේ පැවැති පොලිසියේ හැටි බව කියා ඇත. එවකට චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයේ සභාපතිව සිටි ඒ.ඊ. ක්‍රිස්ටෝෆල්ස් මේ පැමිණිල්ල ගැන තම මණ්ඩලයේ සාමාජිකයින් සමග සාකච්ඡා කොට තීරණයක් ගන්නා බව පවසා ඇතත් එයින් පලක් වී නැත. 

1954 වසරේ තිර ගත වූ “වරද කාගේද” (අධ්‍යක්ෂ ටී.ආර්. සුන්දරම්) චිත්‍රපටයේ අඩ නිරුවත් දර්ශන හා නැටුම් දර්ශන මුල් වරට සිංහල චිත්‍රපටයකට ඇතුළත් විය. (එහි තවත් විශේෂයක් වූයේ මිසර නළඟනක් වූ නාඩියා ගමාල්ගේ අඩ නිරුවත් නැටුමක් ඇතුළත් වීමය.) 1955 වසරේ තිරගත වූ ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ “සැඩ සුළං” චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ ප්ලෝරිඩා ජයලත් බුදු පිළිමයක් ඉදිරිපිට හඬා වැලපෙන දර්ශනයක් ඇතුළත් විය. විනිවිද පෙනෙන අයුරු ආලෝකකරණය කළ රූප රාමුවක ඇගේ දෙකලවා අඩු වැඩි වශයෙන් දැක්වූ බව ආතර් යු. අමරසේන ලියු “සිංහල සිනමාවේ අඩ නිරුවත” නම් ලිපියේ සඳහන් වෙයි. 

“සැඩ සුළං” චිත්‍රපටයේ ප්‍රේම් ජයන්ත් හා ප්ලෝරිඩා සිප වැළඳ ගන්නා දර්ශනය එකල බොහෝ දෙනාගේ කතා බහට ලක් වී ඇත. 

“ලංකාදීප” පත්‍රයේ  “චිත්‍රපට චක්‍රය” අතිරේකයේ සංස්කාරක කරුණාසේන ජයලත් අසභ්‍ය චිත්‍රපට අඩ නිරුවත් දර්ශන ගැන නිතර ලිපි ලිව්වේය. වරක් ඔහු චිත්‍රපටි පරීක්ෂක මණ්ඩලයට සිංහල උගතුන් ඕනෑ. යයි මතු කරමින් (1954 දෙසැම්බර් 08 පත්‍රයේ) ලංකා චිත්‍රපට නරඹන්නන්ගේ සංගමයේ ප්‍රථම ප්‍රසිද්ධ රැස්වීමේ දී සම්මත කර ගන්නා ලද යෝජනාවට මුල් තැනක් දී තිබුණි. මේ යෝජනාව නම් චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයට සිංහල භාෂාව හා ජාතික  සංස්කෘතිකයත් රටක් ගැන අවබෝධයක් ඇති අය පත් කරන ලෙස රජයෙන් ඉල්ලීමටය. මේ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ නිමල් හොරණ, ලක්ෂ්මන් ලොකුමාන, සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර, ශ්‍රීමතී ගුණසේකර, අමරසේකර උක්වත්තගේ, සුගතිමුණි ඤාණසිරි ආදීන් විසිනි.

දුප්පතාගේ දුක, සුකුමලී, වන මෝහිනී චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයේ වාරණයෙන් ගැලවුණ චිත්‍රපටය. දුප්පතාගේ දුක චිත්‍රපටයේ ප්‍රධාන කතාවට ඈඳා තිබූ “වෙස්සන්තර” ජාතකය ඇසුරෙන් නිපදවා තිබූ දර්ශනාවලිය ඉවත් කොට විවේක කාලයෙන් පසු වෙනමම තිරගත කරන ලෙස පරීක්ෂක මණ්ඩලය නියම කර තිබුණි. මේ ක්‍රියාවට එරෙහිව ජයලත් වෙස්සන්තර කැපුවේ ඇයි මැයෙන් ලංකාදීපයට 1956 අගෝස්තු 22 දා විවේචනයක් ලියා තිබුණි.

“වන මෝහිනී” චිත්‍රපටයේ (1958) ප්‍රධාන චරිතය රඟපෑ කාන්ති ගුණතුංග සැරසී සිටියේ අඩ නිරුවත් කෙටි රෙදි කඩකින් සිරුර වසා රඟපාන අයුරු ප්‍රකට කිරීමට අධ්‍යක්ෂ ගීතමය දර්ශන කිහිපයක් ඇතුළත් කර තිබුණි. “සිහිනේ කී බාල කාලේ”, “පිපෙන පියුමන් පියකරු මනරම්” “හෝ එනවයි කීවේ නෑ තව ආවේ”, “ඩිං ඩිංං ඩිං ඩිං ගැස්සෙන සද්දේ”, “දෑතට දෑත තියලා ඔබ” ගීත මෙයට නිදසුන්ය. කාන්ති මේ ඇතැම් ගීත ගයන්නේ ඇගේ පෙම්වතා හර්බි සෙනෙවිරත්න සමගය. මේ චිත්‍රපටයේ වඩාත්ම නිරුවත මතුව පෙනෙුණේ රිචඞ් ඇල්බඞ් හා රෝහිණී ජයකොඩි රඟපාන ගීතමය ජවනිකා වෙනි. 

කොළ කඩ කඩ බොරුවට දෙනවා
ඕ මම ගහ හොඳ හැටි අඳුනනවා 


මේ දර්ශනයේ අඩ නිරුවතින් ගසක් උඩ නැග සිටින විට රිචඞ් ඇල්බඞ් ඒ දෙස බලා ගී ගයයි. මේ දර්ශනය ගාමිණී සිනමාහලේ තිරයේ දිස් වෙන විට ප්‍රේක්ෂකයෝ “හූ” තබමින් රසවිඳි අයුරු එකොළොස් හැවිරිදි සිටි මට මතකය. වැඩි ප්‍රතිචාර ලැබුණේ ගැලරියෙනි. 

“සුකුමලී” චිත්‍රපටයේ (1957) කතා නායිකාව වූයේ ලීලා ලෙස රඟපාන රීටා රත්නායකය. ඇය වැස්සකට තෙමී ගෙදරට විත් ඇඳුම් ඉවත් කරනු වල් හාමු නම් චරිතය රඟපාන ලැඩී රණසිංහ කෑදරයෙන් බලා සිටියි. ස්ත්‍රී නග්න දේහය බිත්තියකට වැටුණ සෙවණැලි ඔස්සේ ප්‍රේක්ෂකයින්ට දකින්නට ලැබේ. මේ දර්ශනයට ගැලරි ප්‍රේක්ෂකයින් විසිල් කරමින් ප්‍රතිචාර දැක් වූ අයුරු ද මට මතකය. 

චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයේ කතුරින් මිදුණු මේ චිත්‍රපට දර්ශන ගැන එකල සිනමා සඟරා (චලන චිත්‍ර, ලංකා චලන චිත්‍ර, චිත්‍රවාහිනී, මේලා) දැඩි උද්ඝෝෂණ කළේය. චිත්‍රපට පරීක්ෂකයෝ කෝ යයි පොදුවේ ඇසූ ප්‍රශ්නයකි. එවක (සර් ජෝන් කොතලාවල අගමැති පත්කළ) චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයේ සභාපතිවරයාව සිටියේ සර් රසික් ෆරීඞ් ය. පොලිස්පති ඔස්මන්ඞ් ද සිල්වා, කොළඹ නගරාධිපති වී.ඒ. සුගතදාස, ලංකා සේවින්ස් බැංකුවේ ලෙස්ලි කුරේ, ඉන්දියානු රාජ්‍ය බැංකුවේ ඇස්. පද්මනාදන්, දොස්තර ඇම්.ඩබ්ලිව්.ඇම්. ද සිල්වා යන මහත්වරුන් ද ක්ලෝඩා ජයසූරිය ද මේ මණ්ඩලයට ඇතුළත් වූහ. 

පරීක්ෂක මණ්ඩලය චිත්‍රපටයක දෙබස් කැපූ අවස්ථාද මුල් යුගයේ තිරගත වූ චිත්‍රපටවල දක්නට ලැබුණි. සිරිසේන විමලවීර ගේ “සිරකරුවා” චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතය වූ සිරකරු එක ආප්පයකට දහ අට අවුරුද්දක් හිර බත් කන්නට සිදු වුණා. නම් දබසේ “එක ආප්පයක්”  යන දෙබස් ඛණ්ඩය ඉවත් කර ඇත.
1956 බලයට පත් බණ්ඩාරනායක රජයේ සංස්කෘති කටයුතු භාර අමාත්‍ය ජයවීර කුරුප්පු මහතා විසින් පත් කරන ලද චිත්‍රපට පරීක්ෂක මණ්ඩලය චිත්‍රපට විචාරකයන්ගේ හා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ මැසිවිලි මැදිහත්ව සලකා බැලූහ. 

එහි සභාපති වූයේ කේ. සෝමසුන්දරම්ය. ඩබ්ලිව්.ඒ. ද  සිල්වා, රාජා හේවාවිතාරණ, වෛද්‍ය ජී.පී. වික්‍රමාරච්චි, නාලන්ද විදුහල්පති ඇම්.ඩබ්ලිව්. කරුණානන්ද, ලෙස්ටර් ජේම්ස් පීරිස්, අයි.ඒ. කරීම්, ඕ.එල්.ඇෆ්. සේනාරත්න, ඊ.එෆ්.ඈන්. ග්‍රේෂන්, ඇන්. කාසිපිල්ලෙයි, එල්.ඒ. රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ. 

මුල්ම ශ්‍රී ලාංකේය කතානාද චිත්‍රපටයේ කතානායිකාව වූ රුක්මණී දේවිය රඟපෑ, 1960 වසරේ තිර ගත වු “නළඟන” චිත්‍රපටයේ රඟපෑ (රාත්‍රී සමාජ ශාලාවක නළඟනක් ලෙස) චරිතය පරීක්ෂක මණ්ඩලයෙන් තහනම් කරනු ලැබ පසුව එවකට සිටි සංස්කෘති කටයුතු ඇමති බර්නාඞ් අලුවිහාරේ මහතා නිර්දේශය මත තිරගත කිරීමට අවසරය ලැබී ඇත. රුක්මණී දේවිය එතෙක් රඟපෑ පරමාදර්ශී චරිතයට පටහැණි, නාගරික සමාජයේ උසස් තරුණියන් අඳින ලද ජීන්ස් කලිසමකින් රඟපෑම එකල සිටි සිනමා ලෝලියන්ගේ හා සිනමා පුවත්පත් සඟරාවල දැඩි විරෝධයට ලක් විය. 
ජයවිලාල් විලේගොඩ “නළඟන” චිත්‍රපට විචාරයක් කරමින් මෙසේ පවසා සිටියේය. 

“රුක්මණීට ලැබී ඇති කොටස ඇයට නොගැළපේ. අන්දවා ඇති ඇඳුම ඇයට නොගැළපේ. ඉදිරිපත් කරන නැටුම් ඇයට මදිකමකි. මේ අපහසුකම් මැද තනි වූ රුක්මණී අපූරු සමත්කම් පාන්නට බැරිව අසරණව සිටී.” 

“ලංකා චලන චිත්‍ර” සඟරාවට විචාරයක් ලියූ සිරිල් ඒ. සීලවිමල මෙසේ සඳහන් කර තිබුණි. 

“නළඟන මගින් කර ඇති විශාලම වරද නම් සිංහල තිරයේ අසහාය නිළිය රුක්මණී දේවි පිළිකුලට පත් කිරීමය. ඇය ජීන්ස් ඇඳ ගෙන බාර් එකේ නටන විට අනේ රුක්මණීට කළ අපරාධයක හැටි” යන සිතිවිල්ල ඇති වේ. 

නළඟන මහා ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ද අප්‍රසාදයට පත් වූ චිත්‍රපටයකි. “මේ චිත්‍රපටය කොළඹ හා තවත් නගරයක දෙකක හැර අනෙක් උප නගරවල හා ගම් නියම් ගම්වලට දැක්වීම තහනම් කළ යුතු සිත්තමකි”යි තමා සිතන බව වික්‍රමසිංහයන් 1960 අගෝස්තු 07 සිළුමිණ පත්‍රයට ලියු ලිපියකින් පවසා තිබුණි. 

1960 ජුනි 15 දා පරීක්ෂක මණ්ඩලය කැඳවා පැවැත්වූ දෙවැනි ප්‍රදර්ශනයෙන් පසු තහනම් කළ යුතුය යන තීරණය සංස්කෘති කටයුතු භාර ඇමතිවරයා නිෂ්ප්‍රභා කොට එය මහජන ප්‍රදර්ශනයට ඉඩ දෙන ලදී. මේ තීරණයට විරුද්ධව පී.ජී. වික්‍රමාරච්චි, ටී.යූ. ද සිල්වා, ඇල්.එච්. මෙත්තානන්ද, අමරසේකර උක්වත්තගේ, ඊ.සී. රාජපතිරණ යන පරීක්ෂක මණ්ඩල සාමාජිකයන් පුවත් පත්වලට ලිපි ලියා තිබුණි. 

චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයේ අනුමැතිය යටතේ  “වැඩිහිටියන්ට පමණක්” සීමා කළ ප්‍රථම චිත්‍රපටය ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ (1964) සුබ සරණ සැප සිතේ චිත්‍රපටයයි. මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා කිරීම ගැන අධ්‍යක්ෂවරයා පරීක්ෂක මණ්ඩලය හමු වී කරුණු විමසූ බවද වාර්තා වේ.
“පටාචාරා” (1965) චිත්‍රපටයේ ප්‍රධාන නිළිය දුර රූපයක නිරුවතින් දුවන දර්ශනයක් වාරණ මණ්ඩයෙන් බේරි ඇත. “මනමාලයෝ” (1967) චිත්‍රපටයේ මුල් වරට සිප ගැනීමේ දර්ශනයද ඇතුළත්ව තිබුණත් එය කතුරෙන් මිදී ඇත. 

1966 වසරේ තිරගත වූ සංගීතය, මධ්‍යසාරය හා ස්ත්‍රිය යන ඔමාර් බයියාම්ගේ දර්ශනය මත පිහිටි බොනී මහත්තයාගේ චරිතය වඩා ගෙතුණු පරසතු මල් චිත්‍රපටයේ එන රාගාධික දර්ශන සංයමයෙන් පෙන්වීම නිසා (අධ්‍යක්ෂ ගාමිණී ෆෝන්සේකාගේ ස්වයංවාරණ හේතු කොට) එය පරීක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබීය. පෙම්බර මධු (1977) චිත්‍රපටය පළමුව වැඩිහිටියන්ට පමණක් ලේබලයෙන් අනුමැතිය ලැබ, නැවත තහනමට හසු වූ චිත්‍රපටයකි. මෙහි එන නිරුවතින් වැලඳ ගන්නා අවස්ථා ඉවත් කොට ප්‍රදර්ශනයට අනුමැතිය ලබා දී ඇත. එයට නොසතුටුව පරීක්ෂක මණ්ඩලයේ සිටි දයානන්ද ගුණවර්ධන හා කරුණාසේන ජයලත් ඉල්ලා අස් වී ඇත. 

1982 වසරේ තිරගත වූ “මලට නොඑන බඹරු” සම ලිංගික ආස්වාදය මතු කළ මුල්ම සිංහල චිත්‍රපටය විය. මේ චිත්‍රපටය ගැන කේ. ජයතිලක ලේඛකයා සඳහන් කර තිබුණේ “පළමු වරට සිංහල සිනමාවේ නිර්භීත අත්දැකීමක් ඉදිරිපත් කිරීමට ගත් ප්‍රයත්නයක්” ලෙසය. මහ ගෙදර දඩයම, තුන්වැනි යාමය, පවන රළු විය, කරුමක්කාරයෝ, සුරබිදෙන, අයෝමා, මීහරකා, බහුභාර්යා, සිහින දේශයකින් යන චිත්‍රපට සිංහල සිනමාවේ ලිංගික ප්‍රවණතාව දැඩි ලෙස පිළිබිඹු කළ චිත්‍රපටයි. 

මෙහිදී සැලකිල්ලට යොමු වුයේ මුල් යුගයේ (1947 අතර 1980) මෙරට ස්ත්‍රීත්වය කේන්ද්‍ර කොට ගත් අධ්‍යතන ලාංකීක සිනමාවේ ලිංගික ප්‍රවණතාව පිළිබඳ විමසුමකි.

Comments