තවමත් නිරුවත් ඇමසන් ගෝත්‍රිකයෝ



 28-Rasa-P3-05  
 
සුළඟට අසුව තුරුපත් සට සට ගා එකිනෙකෙහි ගැටෙන හඬ...

රූස්ස ගසක් තවත් එබඳුම ගසක වෙලී ඇතිල්ලෙන විට නැගෙන චීක් හඬ...

තුරු අතුපතරෙහි දුව පනින වානරයකු බිම ඇද වැටෙන හඬ සහ ඒ සමගම මතුවන උගේ මරණීය විලාපය...

මිනිසුන් පිරිසකගේ ඔල්වරසන් හඬ... 

මේ සියල්ලම ඇසෙන්නේ ඇමසන් නම් වූ මහා ඝන වනාන්තරය මධ්‍යයෙනි.

බ්‍රසීලය, ඉක්වදෝරය, පේරූ, කොලොම්බියාව, වෙනිසියුලාව, බොලිවියාව, ගයනාව වැනි දකුණු ඇමරිකානු රටවල් කිහිපයක් පුරාම විහිදුනු පැතිරුණු ඇමේසන් වනාන්තරයට අයත් මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන හතකි. කොටින්ම මුළු මහත් ලංකාවටත් වඩා විසල් භූමි ප්‍රමාණයක මේ දැවැන්ත වනාන්තරය විහිදී පැතිරී ඇත්තේය. ඒ නිසාම මේ වනාන්තරය මැද දස දහස් සංඛ්‍යාත ගෝත්‍රික ජනතාවක් ද වාසය කරති.

ඇනකොන්ඩා, ජගුවර් ඇතුළු භයානක සත්ව වර්ග රාශියක් ද මේ වනාන්තරයේ ජීවත් වෙති. ඒ ගණන සමස්ත ලෝකයේ වෙසෙන සත්ව සන්තියෙන් තුනෙන් පංගුවකි. 
28-Rasa-P3-01
මේ සියලු දෙනා අතරේ වන මැද වෙසෙන මිනිස් ගෝත්‍ර ගණන ද සියයකට කිට්ටුය. බාහිවා, කි්‍යුරිපානේ, දොව්, හුස්ඩා, නැඩෝබි, යහුප්ඬේ, බාරේ, වරෙකෙනා, අරප්සෝ, බරා, බරසමන, කරපනා, කිපබිසෝ, මැතුනා, පිරටපුසා, සිරියාමාර, ටරියනා, ටුකනෙ, මියුයුකා, තරවතෝ, හුවෝරානි වැනි ගෝත්‍ර වර්ග ඒ අතරින් ප්‍රධානය.

මේ අතරින් හුවෝරානි නම් ගෝත්‍රය ජීවත්වන්නේ ඉක්වදෝරයට අයත් ප්‍රදේශයේය. වර්තමානය වනවිට හුවෝරානි ගෝත්‍රිකයෝ ලොව විවිධ රටවලින් පැමිණෙන සංචාරකයන්ට රසඳුනක් බවට පත්ව ඇත්තේය.

මේ වනගත ගෝත්‍රිකයන්ගේ දිවිපෙවෙත දැකබලා ගැනීම සඳහා දින පහේ හයේ සංචාරක වැඩසටහන් දියත්ව ඇත්තේය. හුවෝරානි නවාතැනේ නතරව සිටි ඔවුන් සමගම දඩයම් චාරිකාවේ යෙදෙන්නට පවා මේ චාරිකාවේදී හැකිවන්නේය. ඒ නිසාම අද ලෝකයේ ජනප්‍රිය සංචාරක කලාපයක් බවට ඉක්වදෝරයේ නාපෝ ගංගාව අවට ප්‍රදේශය පත්ව ඇත්තේය.

ඉකුත් දා ඬේලිමේල් ඇතුළු බොහෝ වෙබ් අඩවිවල හුවෝරානි ගෝත්‍රිකයන්ගේ අපූරු ඡායාරූප ගණනාවක්ම පළව තිබුණේ ඒ නිසාය.

එහෙත් මීට දශක කිහිපයකට පෙර නම් නාපෝ ගඟෙන් එතෙරව මේ ගෝත්‍රිකයන්ගේ වාස භවනට අඩියක් තියන ඕනෑම ප්‍රාණියකුට විස පෙවූ ඊතලයකට තම පපුව දෙන්නට සිදුවිය. අවුකා මෙහෙයුම නමින් ප්‍රචලිත සිදුවීම සිදුවූයේ ද මේ හුවෝරානි ගෝත්‍රිකයන්ගේ බිම් පෙදෙස තුළය.

අවුකා යන්නෙහි තේරුම නිරුවත් ගෝත්‍රිකයන් යන්නය. එදා සේම අදත් මේ හුවෝරානිලා අවුකාවෝය. වල් කපුවලින් වියන ලද රෙදි පටියක් පමණක් ඉන වටා දවටාගෙන සිටින මොවුන් අදටත් සිටින්නේ සම්පූර්ණ නිරුවතිනි. එදා පළමු වතාවට මිෂනාරීවරුන් හුවෝරානිලා වෙත ගිය ගමනේදී ඒ මිෂනාරීවරුන්ට තම ජීවිතය පුද කරන්නට සිදුවිය. අද අවුකා මෙහෙයුම නමින් ප්‍රචලිතව ඇත්තේ අන්න ඒ ආගම් ප්‍රචාරක ක්‍රියාවලියේ පළමුවැනි පියවරය.

හුවෝරානිලා අදටත් ඔවුන්ගේ සම්ප්‍රදායික සරල දිවි පෙවෙත ගත කරයි. ඇඳුම් කෑල්ලකින්වත් තම විලි වසා ගන්නේ නැත්තම් ඔවුන්ගේ ජීවන රටාව යන්තමින් වත් වෙනස් වෙන්නට පුළුවන්කමක් නැහැ නේදැයි ඔබෙන් ඇසිය යුතු ද?
28-Rasa-P3-06
දඩයම් කළ ඌරකු පුළුස්සමින්..
 

ගස්වල අතු ඉති හා කොළවලින් සාදන ලද පුංචි පැල්පත් මොවුන්ගේ නිවහන්ය. මේ එක් නිවස්නයක අඩු තරමින් දහදෙනෙක්වත් වාසය කරති. හැබැයි ඔවුන් සියලුදෙනාම එකම පවුලක සාමාජිකයන්ය. රාත්‍රියේ අධික ශීතල, මදුරු තර්ජන, වන සතුන්ගේ තර්ජන තිබුණත් ඒ සියල්ලට නිරුවතින් මුහුණ දෙන්නට තරම් මොවුන් ශක්තිමත්ය. හැබැයි මේ නිවෙස් කිහිපයක් මධ්‍යයේ විශාල ගිනි ගොඩක් දල්වාගන්නට මොවුහු පුරුදු වී සිටිති. ඒ ගිනිගොඩ අසල ගස්වල එල්ලූ “හැමොක්” ගණනාවකි. මේ හැමොකයක වක ගැසුනු විට සීතලවත්, සත්ව තර්ජනවත්, ඔවුන්ට හානියක් වන්නේ නැත. 

ඉක්වදෝරයට ඉර පෑව්වත් හුවෝරානිලාට ඉර එළිය වැටෙන්නට තවත් හෝරාවක්වත් ගත වේ. එහෙත් ඉර එළිය වැටෙන විටම මැකෝ ගිරවු, කෑදැත්තන් ඇතුළු වනගත දහසක් කුරුල්ලෝ තම උදා ගීතය ගායනා කරන්නට පටන් ගනිති. ඒ සකුණ මියැසියත් සමගම අවදිව හැමොකයෙන් බිමට පනින හුමෝරුනිලා තම දෛනික ජීවිතය ආරම්භ කරති.

හුවෝරානි ගෝත්‍රයේ පිරිමි උදවිය නම් පළමුවෙන්ම කරන්නේ තම විදින තුවක්කුවට බහාලන ඊහිසට වස පොවා ගැනීමය. විෂ සහිත ශාකවලින් පෙරා ගන්නා මේ විෂ ඊ හිසට පෙවූ පසු එය විදින තුවක්කුවේ බහාගන්නා හුවෝරානි පිරිමි විදින තුවක්කු කරේ තියාගෙන වනයට රිංගා ගනිති. සාමාන්‍යයෙන් මීටර් තුනක් හතරක් දිග මේ විදින තුවක්කුව ඇතැම් විට ගස් අතු පතරේ පැටලෙයි. එහෙත් රූස්ස වන මැදට යන ගමන නතර කළ නොහැක. බඩගින්නට පිළියම වඳුරකු දඩයම් කරගැනීම පමණක්ම වන නිසාය.
28-Rasa-P3-03
හැමොකයක වාඩිවී සත්ත්ව ඇටකටුවලින් විලාසිතා හදන ගෝත්‍රිකයෙක්
 

ඇමසන් වන මැද වානර වර්ග තුන්සීයකට වඩා සිටිති. උස් ගස්වල අත්තෙන් අත්තට පනින මේ වානරයන්ට හරියටම ඉලක්කය අල්ලා ඊ හිස මුදාහල විට එය චීස් ගාගෙන හුළඟ කපාගෙන වානරයා සොයාගෙන යයි. උගේ සිරුරෙහි එය ගෑවුණු පමණින් වානරයා බිම ඇද වැටෙන්නේ ඉදුනු පළතුරක් මෙනි. අනතුරුව වානරයා කරේ එල්ලා ගන්නා හුවෝරානි පිරිමියා තම කැදැල්ල කරා එන විටම ඔහුගේ අඹු දරුවෝ වහා ඔහු වටකර ගනිති. ඊළඟට ගිනි ගොඩක් අවුළුවා අර වානරයා පුළුස්සාගෙන උගේ මස්වල රස බලන්නට හුවෝරානිලා පෙළඹේ.

සමහරු තනිකර මසුත්, තවත් අය මයියොක්කා හෝ වෙනත් අල වර්ග සමගත් මේ මස් ආහාරයට ගනිති. 

හුවෝරානිලාගේ තවත් ප්‍රියතම මස් වර්ගයක් වන්නේ පෙකාරිය. කුඩා ඌරු විශේෂයක් වන පෙකාරිගේ මසට ද හුවෝරානිලා ගිජුකමක් දක්වති.
ඔවුන්ගේ අනෙක් ප්‍රියතම මාංශය කෑදැත්තන්ගේ මාංශයය.

එසේ වුවත් ජනවාරි පෙබරවාරි මාර්තු මාසවලදී ඔවුන් සතුන් පස්සේ දුවන්නේ නැත. හේතුව වනාන්තරය විවිධ පලතුරුවලින් පිරී පැවතීමය. හුවෝරානිලාගේ රැහේ මංගල්‍යන් සිදුවන්නේ ද මේ කාලයටය.

හුවෝරානි පිරිමින්ගේ දින චරියාවට අයත්වන ප්‍රධාන අංග කිහිපයකි. දඩයම ඒ අතරින් ප්‍රධානය. වඳුරකු හෝ කෑදැත්තකු හෝ එලාගන්නට වන මැද පැයක් හමාරක් කරක්ගහන්නට සිදුවන බැවින් ඒ දඩයම් චාරිකාව විටෙක ඔවුනට විනෝදය දනවයි. රූස්ස ගස් මුදුනකට බිම සිට ඊතලයක් ඉලක්කයට මුදාහැරීම එක් අතකින් වික්‍රමයකි.

ඊළඟට විදින තුවක්කු නිර්මාණය මෙන්ම දැව කඳන් හාරා ඔරු සෑදීමද හුවෝරානි පිරිමින්ගේ දවස ගෙවන වැඩ කටයුතුය. මේ අතරතුර ගැහැනු කරන්නේ උයන පිහන එක දරුවන් බලාගන්නා එක සහ රෙදි හෝදා.... නෑ... වැරදුනා! මොවුන් රෙදි අදින්නේ නැති නිසා එවැනි කරදරයක් නැත. එහෙත් නිදා ගැනීමට භාවිත කරන හැමොක වියා ගැනීමට මොවුන්ට සිදුව තිබේ.

හුවෝරානිලා දඩයමට හපන්නුන් වුවත් ඔවුහු වන සතුන්ට ආදරය කරති.  

පෙරකී වඳුරන්, කෑදැත්තන්  සහ පෙකාරිලා හැරුණු විට වෙනත් කිසිම සතෙක් මරන්නේ හුවෝරානිලා නොවේ. මුවා යනු ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය ආහාරයක් වුවත් හුවෝරානිලාට මුව මස් අරහංය. ජගුවරයන්ට මෙන්ම සර්පයන්ටද මොවුහු අත නොතියති.

ඔවුන්ගේ ආත්ම සතුව දේව බැල්මක් වැටී තිබෙන බව විශ්වාස කරන නිසාය. 

හැබැයි නාපෝ ගඟේ වෙසෙන මාලුන්ට නම් හුවෝරානිලාගේ ඊ තල යොමුවෙයි. ගඟේ සිටින විවිධ මාළු වර්ග හුවෝරානිලාගේ බඩවල් පුරවයි. 

වනයේ වෙසෙන නිසා දෝ මරණය යනු මොවුනට තවත් එක් සිදුවීමක් පමණි. අයෙක් මියගිය විට වළක් කපා එහි වළලා දමනු විනා ඒ මියගිය එකා වෙනුවෙන් හඬා වැළපීමක් හෝ ශෝකවීමක් හෝ හුවෝරානිලාගේ සමාජයේ නැත. ඔවුන්ට උපත මෙන්ම මරණයද තවත් එක් සිදුවීමක් පමණි. උපදින විට අඬන්නේ නැතිනම් මැරෙන කොට අඬන්නේ කුමකටදැයි ඔවුන් සිතනවා විය යුතුය.

යමෙක් මියගිය විට ශෝක ගීයක් නොගැයුවත් ගී ගයමින් ප්‍රීතිවීමට හුවෝරානිලා හපන්නුය. සාමාන්‍යයෙන් හැම රාත්‍රියකම පාහේ තම පැල්පත් මැද වූ එළිමහන් බිම්කඬේ ගිනි මැලයක් අවුලුවා ඒ මැදට වී ගී ගයමින් නටමින් ප්‍රීතිවීම මේ ගෝත්‍රිකයන්ගේ පුරුද්දකි. ඔවුන් සතු ප්‍රේම ගීත බොහෝමයකි. මේ පෙම් ගී අසන විට හුවෝරානිලා තරම් පෙම්වතුන් ලෝකයේ වෙනත් කොතෙනකවත් නෑ නොවේදැයි සිතෙන තරම්ය.

මගේ සුන්දරියේ
මේ වනපෙතේ ඔබේ පන නල ගැහෙන තෙක්
මමද ජීවත්වෙමි තුටින් නටමින්
ඒ වුනත් ඔබ මියගියොත්
මමද මියැදෙමි ඔබ නමින්
ඔබ නැතුව මා ඉන්නේ කොහොමද සොම්නසින්...

මේ හුවෝරානිලාගේ එකම එක ප්‍රේම ගීතයක් පමණි. මෙබඳු පෙම් ගී තවත් බොහෝමයකි. 

මෙසේ පෙම්ගී ගැයුවත් හුවෝරානිලා බඩ බැඳගෙන ප්‍රේම කරන්නේ නැත. 

කලින් කීවාක් මෙන් කෙනෙක් මළොත් ඒ මළගිය පුද්ගලයා වෙනුවෙන් හඬා වැළපීම ඔවුනට නුහුරු නිසාය. කෑම බීම සේම ජීවිතයේ අනෙකුත් දේවල්ද ඔවුනට තවත් එක දෙයක් පමණකි. කොටින්ම කිව්වොත් ඔවුන් වනමැද වෙසෙන තවත් එක් සත්ත්ව කොට්ඨාසයක් පමණි. මිනිස් හදවත් වල ඇති හැඟීම්බර බව මේ සත්වයා තුළ නොමැත.

Comments

Popular Posts