Skip to main content

ලංකාවේ ප්‍රථම වර්ණ සිංහල චිත්‍රපටය

ලංකාවේ ප්‍රථම වර්ණ සිංහල චිත්‍රපටය ගම්බද සුන්දරී





තුම්පනේ ප්‍රසිද්ධ ධනවතෙකු වූ සේකර මුදලාලිට කොළඹ පැමිණි අවස්ථාවේ ශාස්ත්‍රකරුවෙකු හමුවෙයි. මුදලාලිගේ දියණිය වූ රූපා උසස් ධනවත් මහතෙකු හා විවාහ වී සැපවත් ජීවිතයක් ගත කරන බව ශාස්ත්‍රකරුවා සහතික වෙයි. මුදලාලි හාමිනේ මේ කිසිවක් මායිම් නොකොට තමා සැළසුම් කොට තිබූ මහියංගනයේ වන්දනා ගමනට සූදානම් වූවාය. පසු දින පිළියෙල කරගත් පරිදි මුදලාලි, තම හාමිනේ හා දියණියන් දෙදෙනා වූ රූපා හා ස්වර්ණා සමඟ වන්දනාවේ යති. මහියංගණයට ගොස් වන්දනා කර එන අතරමග ඔවුහු ආහාර ගැනීමට නතර වූහ. ස්වර්ණා වතුර ගැනීමට යන අතර රූපා මලක් නෙළා ගැනීමට කැලෑවට ගියාය. කැළේ සිටි වැද්දෙක් රූපා ඔසවා ගෙන අතුරුදන් වෙයි. ස්වර්ණා කෑ ගසා ගෙන දෙමාපියන් වෙත දිව්වාය. සියලු දෙනාම රූපාව සොයා කැලෑ වැදුණාහ. මුදලාලිට වූ කරදර දුටු විමල් හා සිරිල් නම් තරුණ මිතුරන් දෙදෙනෙක් රූපා සෙවීමට එක් වූහ.

රූපා සොයා ගැනීම දුෂ්කර බව දුටු මුදලාලි නැවත හැරී ගෙදර එයි. විමල් හා සිරිල් උත්සාහය අත නොහැරියහ. ඔවුන් වැද්දා සිටි තැන සොයා ගොස් ඔහු හා සටන් වැද රූපා ගලවා ගෙන, ඇය මුදලාලිගේ නිවසට ගෙන ගොස් භාර දෙති. තරුණයන් දෙදෙනාට ස්තුති කළ මුදලාලි කළගුණ සැලකීම වශයෙන් සංගීත කලාව ඉගෙන ගැනීම සඳහා ඔවුන් භාරතයේ ඉහළම සංගීත විද්‍යාලයට යවති. ඔවුන් සංගීතය හදාරා පැමිණෙති. විමල් රූපා විවාහ කර ගැනීමට අවසර ඉල්ලුවත් මුදලාලි එයට අකමැති වෙයි. සිරිල් කූට උපායක් යොදා මුදලාලි රවටා තම මිතුරා වූ විමල්ට රූපා විවාහ කරදෙයි. මේ උපාය හෙළි වූ පසු මුදලාලි සිරිල්ට තර්ජනය කරයි. මුදලාලි හාමිනේ සමාදානයට කැමති කාන්තාවක් නිසා මෙය හොඳ විවාහයක් බව තම සැමියාට තේරුම් කර දුන්නාය. නව යුවළ මුදලාලිගෙන් සමාව ඇයද දෙමාපියන්ගේ ආශිර්වාදය ලබති.

මේ කතා පුවත එන්නේ ප්‍රථම ශ්‍රී ලාංකේය වර්ණ කතා නාද වෘත්තාන්ත චිත්‍රපටය වූ “ගම්බද සුන්දරී” චිත්‍රපටයේය. මිලි මීටර් 16 ප්‍රමාණයෙන් නිපදවන ලද මේ චිත්‍රපටයට මුල්වරට ලාංකිකයන් හවුල්වී නිම කළ සිංහල චිත්‍රපටය ද වන්නේය. සිරිසේන විමලවීර “අම්මා” චිත්‍රපටයට පසු සිංහලයකු නිපද වූ චිත්‍රපටය ද මෙය වෙයි. මේ නිෂ්පාදකවරයා ජෝර්ජ්.එස්. විජේගුණරත්නය. ඔහු චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක, සම කැමරා ශිල්පියාද විය. අනික් සම කැමරා ශිල්පියා වූයේ ලෙස්ලි පේද්‍රිස්ය. ඉසබෙල් බ්‍රෝහියර් හා ශීලා බ්‍රෝහියර් සංස්කරණය කළ මෙහි කතාව, දෙබස්, ගීත රචනය හා සංගීත නිර්මාණය එන්.කේ. කාරියවසම් ගෙනි. ක්වීටස් පීරිස් වෙස් ගැනීමේ ශිල්පියාය. නිෂ්පාදන විධායක හා සම අධ්‍යක්‍ෂ වින්ස්ටන් බැස්ටියන්ය. ගයි බ්‍රෝහියර් ශබ්ද පරිපාලකවරයාය.

ගම්බද සුන්දරී ප්‍රසාද් ෆිල්ම් ප්‍රඩක්ෂන් විසින් නිපද වූ ප්‍රථම සිංහල චිත්‍රපටය විය. “ලංකාවේ ප්‍රථමයෙන් ගන්නා ලද සිංහල වෛවර්ණ චිත්‍රපටය - ගම්බද සුන්දරී බව චිත්‍රපටයේ සමරු කලාපයේ සඳහන් වී ඇත. :ඨ්ඵඊ්ෘ්‍යෑ ීඹභෘ්ඍෂ :ඪෂඛඛ්ඨෑ ඊෑඛඛ්* ත්‍සරිඑ ත්‍ැ්එමරු ත්‍සකප ඡරදාමජැා සබ ක්‍ැහකදබ සබ ීදමබා ්බා ක්‍දකදමර* චිත්‍රපටයේ ගම්බද සුන්දරී නොහොත් රූපා ලෙස ශීලා පීරිස්ද, විමල් ලෙස කිංස්ලි ජයසේකර ද, මුදලාලි ලෙස ඊ.සී. බුලත්සිංහල ද, සිරිල් ලෙස වින්සන්ට් ද පෝල් පීරිස් ද, හාමිනේ ලෙස එලන් පෙරේරා ද, ස්වර්ණා ලෙස සුජාතා බුලත්සිංහල ද, වැද්දා ලෙස ජී.ඕ. ෆොන්සේකා (බී.ඒ. ලන්ඩන්), ශාස්ත්‍රකරු ලෙස ඩබ්ලිව්. දළුවත්ත ද රඟපෑහ. සෙසු චරිත හර්බට් පෙරේරා, තිලකා සිරිවර්ධන, එච්. ගුණසේකර, තිලක් ගුණතිලක, මල්ලිකා මොරිස්, විමල් වික්‍රමරත්න, පද්මිණී වික්‍රමරත්න ද රඟ පෑහ.

1949 වසරේ ගම්බද සුන්දරී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ශීලා පීරිස් රඟපාන විට ඇගේ වයස අවුරුදු විස්සක් බව මීට වසර 10කට ප්‍රථම අප හා පැවසුවාය.

“ගම්බද සුන්දරීට මාව තෝරා ගත්තේ සංගීත අධ්‍යක්‍ෂ එන්.කේ. කාරියවසම් මහතා. ඔහු සමඟ 1946 වසරේ “කොලොම්බියා” තැටියකට ගීතයක් ගැයුවා. “සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ.” කියලා. මේ චිත්‍රපටයේ රූපාගේ චරිතය රඟපාමින් පසුබිම් ගීතත් ගැයුවා. ප්‍රධාන චරිතය (විමල්) රඟපෑවේ කිංස්ලි ජයසේකර සමඟ. මුලින්ම කැමරාවට මුහුණ දෙනකොට මට බියක් තිබුණේ නෑ. මම ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් ලෙස කුඩා කළ සිටම හැම දෙයකටම ඉදිරිපත් වීම නිසා. එහෙත් ‘ගම්බඳ සුන්දරී’ චිත්‍රපටයේ එක දර්ශනයක් රඟපෑමට මහියංගණයේ කැලේට ගිහින් මල් කඩන අවස්ථාවක් තිබුණා. ඒ වේලාවේ වැද්දෙක් විදිහට රඟ පෑ ජී.ඕ. ෆොන්සේකා හිටිගමන් මාව උස්සගෙන කැලේ ඇතුළට යනවා. කලින් මම මේ අවස්ථාව දැන නොසිටි නිසා හොඳටම බිය වෙලා කෑ ගැසුවා.”


ශීලා පීරිස් එදා ගැයූ “සුදු සඳ රැස්” ගීතය අතිශයින්ම ජනප්‍රිය ගීතයක් විය. 1929 සැප්තැම්බර් 25 වැනිදා බොරැල්ලේ උපත ලැබූ ඇය කැම්බල් පෙදෙසේ සියලු සාන්තුවරයන්ගේ බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය. වේදිකා නාට්‍ය කිහිපයකම රඟ පෑ ඇය 2014 ඔක්තෝබර් 19 වෙනිදා මිය ගියාය.

‘ගම්බද සුන්දරී චිත්‍රපටයේ විමල් හා සිරිල් ලෙස රඟපෑ කිංස්ලි ජයසේකර හා වින්සන්ට් පෝල් පීරිස් ද ගුවන් විදුලියේ ගායකයන් දෙදෙනකු ලෙස ප්‍රකටව සිටියහ. ගල්කිස්සේ ශාන්ත තෝමස් සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කිංස්ලි ජයසේකර ‘ගම්බද සුන්දරී’ චිත්‍රපටයේ රඟපාන විට වයස අවුරුදු 23කි. ඔහු ප්‍රිසිලා ඕපාත සමඟ ගැයූ මොනවද අම්මේ අකුරු ජාතියක් නම් යුග ගීතය අදත් ජනප්‍රිය ගීතයකි. 1924 අප්‍රේල් 04 වැනිදා උපන් ඔහු 2004 පෙබරවාරි 07 වෙනිදා මිය ගියේය. සිරිල් ලෙස රඟ පෑ වින්සන්ට් ද පෝල් පීරිස් ද ජනප්‍රිය ගායකයෙකි. ‘බසියිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ’, ‘සිරිපාදේ සමනළ කන්ද පෙනේ, අලෝකය සමන් ගිරේ.’ ගීත දෙක වින්සන් ද පෝල්ගේ ජනප්‍රියත්වයට හොඳම නිදසුන්ය. 1922 මාර්තු 11 වෙනිදා උපත ලැබූ ඔහු 2014 ජූලි 22 මිය ගියේය. ශීලා, කිංස්ලි හා වින්සන්ට් “ගම්බද සුන්දරී” චිත්‍රපටයේ පසුබිම් ගීත ගයමින් රඟපෑම විශේෂයකි.
ගම්බද සුන්දරී චිත්‍රපටයේ ගීත පටිගත කොට ඇත්තේ ලංකාවේදීය. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ජෝර්ජ් ඇස්. විජේගුණරත්න එදා තමාගේ අභිප්‍රාය සමරු සංග්‍රහයේ මෙසේ සටහන් කර තිබුණි.

“ගම්බද සුන්දරී මේ දිවයිනේම ජනිත වූවන් විසින්ම නිපදවන ලද්දකි. මේ තාක් චිත්‍රපටි නිෂ්පාදනය අතින් ලංකාව තැබූ මුල් පියවර ද මෙයයි. නොයෙක් දුෂ්කරතා හා අඩු ලුහුඩුකම් මධ්‍යයේ මෙය කරන්නට සිදු විය. චිත්‍රපටි නිසා අතිමහත් ධනස්කන්ධයක් මේ දිවයිනෙන් පිටරටට ඇදෙති. කෝටි ගණනින් සීමිත එයින් ටිකක්වත් නවතා ගැනීමට හැකි වෙතත් එය අපේ මේ වෑයමෙහි ප්‍රතිඵලයයි. මේ රම්‍ය භූමියේ, අති රමණීය සෞන්දර්යත්, ජාතික පරිසරයත්, ගැමියන්ගේ ගති සිරිත් හා ගුණවගාවත්, ගීත කලාව හා චිත්‍රකලාවත්, දෛනික ජීවිතයත් පිළිබිඹු කරවීමේ අභිලාෂයෙන්ම මෙය පිළියෙල විය. අපරදිග චිත්‍රපට තරමට මෙය දියුණු නැතත් මේ දිවයිනේම නිපැදෙන චිත්‍රපටවලට දීප්තිමත් අනාගතයක් ඇති බව මෙයින් පැහැදිලි වෙයි.

ගම්බද සුන්දරී මෙරට නිපද වූ අටවැනි කතානාද සිංහල චිත්‍රපටයයි. 1950 ජනවාරි 27 ප්‍රදර්ශනය වූ මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වා ඇත්තේ වෙළෙඳ ඇමති හෙන්රි අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මරදානේ ක්‍රවුන් සිනමාහලේදීය. මෙහි එක පිටපතක් පමණක් මුද්‍රණය කිරීමද විශේෂය. මිලි මීටර් 16 ප්‍රමාණයෙන් රූපගත කොට මිලි මීටර් 35ට මෙය විශාල කළ බව කියවෙතත් එය විවාද සම්පන්නය.

සුපුරුදු ලෙස මෙවැනි චිත්‍රපට සඳහා මුලින්ම ප්‍රචාරය දී ඇත්තේ “ශ්‍රී ලංකාදීපයයි”. ලංකාවේ නිපදවන ප්‍රථම වර්ණවත් චිත්‍රපටිය නමින් ප්‍රථම පුවත 1949 මැයි 14 වැනිදා “ශ්‍රී ලංකාදීප” පත්‍රයෙන් එය අනාවරණයවී ඇත. එය මෙසේය.

“ප්‍රථමවරට ලංකාවේ නිපදවන වර්ණ චිත්‍රපටිය වූ “ගම්බද සුන්දරී” ලබන ජූලි මාසයේදී පමණ ලංකාවේ සිනමාගාරවල දී දක්නට ලැබෙතැයි සිතිය හැකිය. මේ චිත්‍රපටියේ හැම ජවනිකාවක්ම ලංකාවේ දර්ශනවලින් පිළියෙල කර ඇත.”

රුපියල් 30,000කින් සිංහල චිත්‍රපටයක් නිපද වූවා යයි කිවහොත් එය විශ්වාස කළ හැකිද?  1952 වසරේ එවැනි සිද්ධියක් සිංහල සිනමා ඉතිහාසයෙන් අනාවරණයවී ඇත. සිංහල චිත්‍රපට නිපදවීමට ඉන්දියානු චිත්‍රාගාරවල පිහිට සෙවූ ඒ කාලයේ වර්නන් ජයවර්ධන නම් සිංහල කැමරා ශිල්පියා ටවර් යුගයේ ජනප්‍රියව තිබූ ‘සිරිසඟබෝ’ නාට්‍ය ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවීමට සිතා තමා සතු කැමරාවත් තම ශිල්පීන් සමග එළිමහනකට ගොස් ඇත. ඔහු රඟපෑම සඳහා තෝරා ගත්තේ ද ටවර් නළු නිළියන්මය. එපමණක් නොව ටවර් යුගයේ චිත්‍රාභරණද පසුතල දර්ශනද තෝරා ගෙන අත්තනගල්ල, අනුරාධපුරය, කොට්ටාව ආදී ප්‍රදේශවල එළිමහන් දර්ශනද ගන්නා ලදි. එඞ්වින් පෙරේරා දෙබස් ලියා අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයේ රජමාළිගා, ඇතුළු අභ්‍යන්තර දර්ශන රාශියක් ගොඩනැගිල්ලක නිර්මාණය කළේ ටවර් යුගයේ අති දක්‍ෂ නළුවකුව සිටි එම්. රොමානිස් ප්‍රේරාගේ පුත්‍රයකු වූ එම්. පියදාසය.

වර්නන් ජයවර්ධනගේ තොරතුරු ‘ලංකාදීප’ පත්‍රයෙන් විටින් විට ඉදිරිපත් කළේ ඩී.වී සෙනෙවිරත්න විසිනි. ලංකාවේ ප්‍රථම සිංහල නිහඬ චිත්‍රපටය වූ “පලිගැනීමේ” (1936) ඡායාරූප ශිල්පියාද වර්නන් බව ඔහු පවසා ඇත. ඔහු කියන ආකාරයට ‘සිරිසඟබෝ’ චිත්‍රපටයට පෙර 1947 වසරේ වර්නන් ජයවර්ධන විසින් “සරදියෙල්” නම් කෙටි චිත්‍රපටයක් ලියා අධ්‍යක්‍ෂණය කර ඇත.

“1947 ජනවාරි මාසයේදී පමණ මා ඇතුළු පිරිසකට ජයවර්ධනගේ “සරදියෙල්” නම් කෙටි චිත්‍රපටය කොළඹ බේස්ලයින් පාරේ පිහිටි ඔහුගේ නිවසේ ප්‍රදර්ශනය කළා. ඡායාරූප ශාලාවක් හිමි ඔහුට බයිස්කෝප් කැමරා කිහිපයකුත්, ප්‍රදර්ශන යන්ත්‍ර කිහිපයකුත් තිබුණා. මේ චිත්‍රපටය පාසල් ශිෂ්‍යයන්ටත් කලා සංගම්වලටත් ප්‍රදර්ශනය කළා.”

වර්නන් ජයවර්ධන ‘සිරිසඟබෝ’ චිත්‍රපටයේ රූප ගත කිරීම් නිම කළත්, පසුබිම් හඬ හා ශබ්ද කැවීමට මුදල් නැතිවීම නිසා ප්‍රශ්නකාරී තත්ත්වයකට මුහුණ දුන්නේය. රූගත කළ එක රීලයක් ජයවර්ධන විසින් සිලෝන් තියටර්ස් අධිපති ගාඩිනර්ට් රීගල් සිනමාහලේදී පෙන්විය. ඔහුගෙන් ලැබුණු මුදලින් චිත්‍රපටයේ හඬ කැවීමට, දෙබස් කැවීමට මදුරාසියේ සරස්වතී චිත්‍රාගාරයට ගියේය. එහිදී ජයවර්ධන හා අධ්‍යක්‍ෂ එඞ්වින් පෙරේරා අතර “මත ගැටුමක්” ඇතිවිය. එඞ්වින් තමා සතු ගීත, දෙබස් ජයවර්ධනට නොදී ලංකාවට පැමිණියේය. ජයවර්ධනට එතැන දී පිහිටට ආවේ වතුරේගම සෝමාලංකාර හිමියන්ය. උන්වහන්සේ දෙබස්, ගාථා, ගීත අලුතින් ලියා දුන්හ. මුල්වරට බෞද්ධ භික්‍ෂූන්වහන්සේ කෙනෙකු සිනමාවට සම්බන්ධ වන්නේ ‘සිරිසඟබෝ’ චිත්‍රපටයෙනි.

අලුතින්ම චිත්‍රපටයේ වැඩ කටයුතු ඇරඹූ වර්නන් ජයවර්ධන තමාගේ අධ්‍යක්‍ෂණයෙන් යුතුව, ටී.ඩී. ඇඞ්වින් පෙරේරා, පියදාස පෙරේරා, තෙරේසා වීරසිංහ, දේවි සකුන්තලා, ලක්‍ෂ්මි බායි, ක්ලෙමන්ට් ගවුඩර් සමග නැවත මදුරාසිය බලා පිටත්වී හඬ ගන්නා එහි පළමු රීලය සිලෝන් තියටර්ස් සමාගමට ප්‍රදර්ශනය කොට මුදල් ලබා ගත්තේය. වැඩ නිම කළ “සිරිසඟබෝ” 1952 ජූලි 18 වැනිදා සිලෝන් තියටර්ස් සමාගමට අයත් එල්ෆින්ස්ටන් සිනමාහලේ නළු නිළියන්ගේ ප්‍රධානත්වයෙන් මංගල දර්ශනය පවත්වා ඇත. වැල්ලවත්තේ රොක්සි, අම්බලන්ගොඩ ලක්‍ෂ්මි, ත්‍රිකුණාමලේ නෙල්සන් හා මහනුවර වේල්ස්, බණ්ඩාරවෙල රෝයල් යන සිනමාහල්වල ද චිත්‍රපටය තිරගත විය. පුවත්පත් දැන්වීම්වලට චිත්‍රපටය ගැන මෙසේ සඳහන් වී තිබුණි.

“රජකුගේ විශිෂ්ට පරිත්‍යාගය විදහා දැක්වෙන, ලංකාවේ අතීත ඉතිහාසයෙන් පිටුවක් ආගමික සහ ඓතිහාසික වටිනාකමෙන් යුතු පුවතකි.”
“අපේ රටේ පැරණි සෞභාග්‍ය විදහාපාන ලංකාවේ ධර්මිෂ්ඨ රජතුමා පිළිබඳ මෙම චිත්‍රපටිය සෑම සිංහලයකු විසින්ම නැරඹිය යුතුය.”
“ලංකාදීප” කර්තෘ ඩී.බී. ධනපාල මහතා චිත්‍රපටයට දිරි දෙමින් විවේචන පළ කරමින් හැකි හැම උපකාරයක්ම දුන්නේය. නූතන අත්තනගල්ල විහාරස්ථානයේ දර්ශනයක් සමඟ එහි වැයෙන ඝන්ටාර රාවයේ නාදයෙන් බුදු දහම ඔස්සේ සිත් යවමින් පටන් ගැනෙන මේ චිත්‍රපටයේ භික්‍ෂූන් වහන්සේ නමකගේ මඟ පෙන්වීම අනුව සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය කුමාරයන් තිදෙනා අනුරාධපුර බලා නික්මෙන ගමන චිත්‍රපටයට නගා ඇති අයුරු පැසසිය යුතු බව 1952 ජූලි 20 වෙනිදා ‘ලංකාදීප’ පත්‍රයට තිලක (සිරිපාල තිලකසේන) ලියා තිබුණි.
වර්නන් ජයවර්ධන ‘සිරිසඟබෝ’ චිත්‍රපටය සාර්ථක වූයේ නම් සිංහල කතානාද චිත්‍රාගාරයක් හැදීමට ලොකු ආසාවකින් සිටි බව ඩී.වී. සෙනෙවිරත්න කියා තිබුණි. අවාසනාවට දින දහයක් තිරගතව තිබියදී ‘සිරිසඟබෝ’ චිත්‍රපටය සිනමාහල්වලින් ඉවත් කළේ දින 2කට පමණ මරදානේ ටවර් සිනමාහලට මාරු කොට යැව්වේය. මෙසේ ‘සිරිසඟබෝ’ චිත්‍රපටය දින 10කින් ඉවත් කළේ දිලිප් කුමාර් රඟ පෑ “ආන්” හින්දි චිත්‍රපටය තිරගත කිරීමට ගත් තීරණය නිසාය. එහෙත් බොහෝ දෙනා පුල පුලා බලා සිටි දිලිප් කුමාර් 1952 ජූලි 20 වැනිදා ලංකාවට පැමිණියේ නැත. දිලිප් එනතුරු එල්ෆින්ස්ටන් සිනමාහලේ තිරගතවී ඇත්තේ ‘සම්සාරම්’ නම් ද්‍රවිඩ චිත්‍රපටයයි. 1952 අගෝස්තු 12 දිලිප් ලංකාවට එන විට වර්නන් ජයවර්ධන නම් උත්සාහවන්ත මිනිසාට සිදු විය හැකි හැම දුෂ්කරතාවක්ම විඳීමට සිදුව ඇත.
කෙසේ වුවද මේ “දිරිය මිනිසා”ගේ ප්‍රයත්නය අගය කළේ “ලංකාදීප” පත්‍රය පමණි. ඔහුගේ නම සිංහල සිනමා ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් වී තිබුණි. එහෙත් මේ චිත්‍රපටයේ පිටපතක් අනාගත පරපුරට දැක ගන්නට නොලැබීම අවාසනාවකි.

Comments

Popular Posts