නිවසේ දී ම පෆ් පේස්ට්‍රි Puff Pastry හදා ගනිමු

පෆ් පේස්ට්‍රි/Puff Pastryනිවසේ දී ම පෆ් පේස්ට්‍රි Puff Pastry හදා ගනිමු!!!

පළමුවෙන් ම කිවයුතු කරුණු දෙකක් පවතී.

1.පෆ් පේස්ට්‍රි යනු ඉතා ඉහල මේද ප්‍රමාණයක් අඩංගු වන ආහාරයක් බැවින් නිතර ආහාරයට ගැනීම නුසුදුසු බව.

2.පෆ් පේස්ට්‍රි නිෂ්පාදනය කිරීම බේකරි කර්මාන්තයේ සෛද්ධාන්ත දැඩි ලෙස භාවිතා කරන අවස්ථාවක් බව. (මේ සෛද්ධාන්ත කලින් අවස්ථාවලදී සාකච්ඡා නොකරන ලද නිසා මෙම හුයේ දී ඒ ගැන යම් වැටහිමක්, එම අදාල ස්ථාන වලදී ඔබට ලබා දෙනු ඇත)

අවශ්‍ය ද්‍රව්‍ය- (මෙම අනුපාත තිරිගු පිටි කිලෝවක් සදහා බව සළකන්න. පිටි ප්‍රමාණය අඩු වන විට ඒ හා සමානුපාතිකව අනෙකුත් ද්‍රව්‍ය ද අඩු විය යුතුය)




1.හලා ගත් තිරිගු පිටි කි. 1යි
2.මාගරීන් ග්‍රෑම් 100ක්
3.පේස්ට්‍රි මාගරීන් ග්‍රෑම් 300ක්*(පහත බලන්න)
4.අයිස් කැට සහිත ජලය මි.ලී. 200ක්**(පහත බලන්න)
5.යීස්ට් ග්‍රෑම් 12ක්
6.සීනි ග්‍රෑම් 75ක්
7.ලුණු කුඩු ග්‍රෑම් 12ක්
8.බිත්තරයක සුදුමදය සහ කහ මදය වෙන් වෙන් ව.

*පේස්ට්‍රි මාගරීන් ලෙස හැදින්වෙන මාගරීන් විශේෂය, අධි ඝණත්ව-අධි තාපාංක (High Density-High melting Point)මාගරීන් විශේෂයකි. සාමාන්‍ය මාගරීන් වල ද්‍රවාංකය සෙල්සියස් 49ක් පමණ වන නමුත් මේ මාගරීන් විශේෂයේ ද්‍රවාංකය සෙල්සියස් 98-103 අතරය. සාමාන්‍යයෙන් මිළ දී ගැනීමට අඩුය. බේකරියකින් ටිකක් ලබා ගත හැකිය. වෙළද පොලේ ග්‍රෑම්120 පමණ වන පේස්ට්‍රි මාගරීන් කැට කලාතුරකින් දැකිය හැකිය.

** අයිස් කැට සහිත ජලය යනු අනිවාර්යෙන් සෙල්සියස් 0 හි පවතින ජලය වේ.මෙහි පිටි මෝලිය ඇනිය යුත්තේ අයිස් ජලයෙනි. නැතහොත් යීස්ට් වල ක්‍රියාතාරීත්වය ඉක්මන් වී, පේස්ට්‍රි මෝලිය හෑදීමට පෙර ම එය පිපෙන්නට පටන් ගනී. මෙම පිපිමේ ක්‍රියාව මෝලිය නිම කරන තෙක් අනිවාර්යෙන් නැවැත්විය යුතුය. මෙනිසා සෙල්සියස් 0 හි ජලය මෙම මෝලිය ඇනීමට භාවිතා වේ.

සාමාන්‍ය පිටි මෝලියක් තැනීමට වඩා අඩු සීනි සහ මාගරීන් ප්‍රමාණයක් මෙහිදී භාවිතා වන බව කලින් මාළුපාන්,කිඹුලා බනිස් සහ පීට්සා ත්‍රෙඩ් කියවූ ඔබේ මතකයට නැගෙනු ඇතැයි සිතමි.


පේස්ට්‍රි මෝලිය ඇනීම.





A. පිටි, සීනි සහ යීස්ට් අතින් කලවම් කර ගෙන මික්සර් එකක ඩෝ හූක්ස් ආධාරයෙන් බිත්තර සුදුමදය සහ අයිස් ජලය මදින් මද එක්කර අතේ නොඇලෙන බෝලයක් මට්ටමට සෙමෙන් විනාඩි 10ත් පමණ මිශ්‍ර කර ගන්න.

B. මෙයට සාමාන්‍ය මාගරීන් එක්කර විනාඩි 5ක් සෙමෙන් මිශ්‍ර කරන්න.
C. දැන් මෙයට ලුණු එක්කර විනාඩි 5ක් සෙමෙන් මිශ්‍ර කරන්න.

D. පදම නිවැරදි නම්, රූපයේ ලෙසට අතෙහි නොඇලෙන මෘදු පිටි මෝලියක් ලැබේ.

මේ පිටි මෝලිය අනා අවසන් වූ විගසම පෆ් පේස්ට්‍රි මෝලිය හදා ගැනීම නුවණට හුරුය. නැතහොත් මෙම මෝලය පිපීමට පටන් ගනී. එවිට වැඩ අල වීමේ හැකියාව ඉතා ඉහලය.






E. පිටි ඉසින ලද ලෑල්ලක් මත කලින් සෑදූ පිටි මෝලිය තුනී කරන්න.

F. එය මිලිමීටර 5ක් පමණ ගණකම් වන පරිදි රෝලින් පින් එකක ආධාරයෙන් තුනී කර ගන්න. එසේ තුනී කරගත් වපසරියෙන් අඩක් වැසෙන සේ පේස්ට්‍රි මාගරීන් මිලිමීටර 2-3ක් උසට අතුරා ගන්න.

G. පේස්ට්‍රි මාගරීන් ඇතුරූ අඩ වැසෙන සේ පේස්ට්‍රි මාගරීන් තවරා නැති අඩ නවන්න.

H. දැන් කලින් වපසරියෙන් අඩක් ලෙස පෙනෙන මාගරීන් සහිත පිටි මෝලිය නැවත කලින් වපසරියට එන සේ රෝලින් පින් එකෙන් තුනී කර ගන්න. මෙම E,F,G,H යන පියවර නැවත නැවත 8 වරක් සිදු කරන්න.




I. මෙවිට ඔබට පිටි තට්ටු 2 X 2 X 2 X 2 X 2 X 2 X 2 X 2 =256 වන පේස්ට්‍රි මෝලියක් ලබා ගත හැකිය. නැවත දෙවරක් ඔබ මේ පියවර ගෙන ගියහොත් තට්ටු 1024ක් සහිත පේස්ට්‍රි මෝලියක් ලැබේ. අවසන් ලෙසට නැවීමෙන් පසුව මෝලිය මිලි මීටර 10ක ගණකමකින් යුතුව නිමා තර ගන්න. මේ මෝලිය අධි ශීතකරණයක තබා පසුව වුව ද ප්‍රයෝජනයට ගත හැකිය.

J. පේස්ට්‍රි සකසා ගැනීමට මෙම මෝලියෙන් අඩක් පමණ පිටි ඉසින ලද ලෑල්ලක් මත තබා රෝලින් පින් එකකින් මිලිමීටර 3ක් පමණ ගණකමට තුනී කර ගන්න. කැමති හැඩයකට පිහියකින් කපා ගන්න. එම කොටස් මැදට කැමති දෙයක් (සදා ගත් එළවළු පිරවුමක්, තැම්බූ බිත්තර සහ සීනි සම්බෝල, සොසේජස්) තබා පිටි මෝලි කෙළවර දෙකක් එක් එක් මුහුණත් මත ජලය තවරා හොදින් තද කර අලවා ගන්න.

K. මෙසේ පිළියෙළ කර ගත් පේස්ට්‍රි පැය 4-6 අතර කාලයක් අවන් ට්‍රේ මත පිපෙන්නට තබන්න.

L. එයින් පසු වතුර මදක් එක් කර ොදින් ගසා ගත් කලින් ඉවත් කර ගත් බිත්තර කහ මදය ේස්ට්‍රි මතු පිට බුරුසුවක ආධාරයෙන් ගාගන්න.






M. සෙල්සියස් 160-170 උෂ්ණත්වය ඇති අවන් එකක් විනාඩි 30-35ක් පමණ වේලා පුළුස්සා ගන්න.

N. පුළුස්සා ගත් ඔබේ පෆ් පේස්ට්‍රි මෙසේ දිස්වනු ඇත.

O. පිටි ග්‍රෑම් 400කින් පේස්ට්‍රි 16ක් සෑදුවෙමි..............



Comments